ජීවිතේ සාධාරණ නෑ බං

අට පාස් නැති ඇමති
සඟ දාලා ප්‍රාඩෝ එකේ යද්දී
උපාධි ගහල
ගමේ ඉස්කෝලේ
උගන්වන සෝමේ අයියා
කහ ගැහිච්ච
සුදු කමිසේ ඇඳන්
බස් හෝල්ට් එකේ හිටියා
කොහොමත් බං
අව්වට මට්ටු වෙලා
වැස්සට ඔට්ටු වෙලා
හැදෙන එළවලු
විකුණන මැස්ස උඩ
පුස් වලින් හැදුන
හතු ටික ලස්සනට
සීල් කරලා තියෙන්නේ
ජීවිතේ සාධාරණ නෑ බං

ලේ ඝනයි වතුරට වඩා

ලේ ඝනයි බං වතුරට වඩා

මගේ එකාලට
බොක්කෙන්ම
ලියමි……..

විරුද්ධ උනත් මට
මුළු ලෝකයක්
හිට ගනී
මගෙ දෙපැත්තෙන්….

ඉවසාගෙන මම
කරපු ගොංකම්
පෑ සෙනෙහෙ
ආදරෙන්…..

වැහි අස්සේ
පාලම් හදන්
ඉඩ දුන්නා
යන්න බැරි
තැන් වහන්……

ගස් ගල් පවා
හොල්ලමින්
අත්වාරු දුනි
නැගිටින්න
මට උන් තැනින්…

මගේ හැටි පිළිගමින්
ඉගැන්නුවා මට
ලොකු පාඩමක්
නිදසුනකින් ……
ලේ ඝනයි වතුරට වඩා

-සුරන්-

මම ලියපු පළවෙනි රැප් සිංදුව

Chorus
මම ආස පාරේ – යන්න මට ඕනේ
මට ඕන තාලේ – ගයන්නට ආයේ
ලියන්නට ඕනේ – ජීවිතේ මාගේ
නොමැකෙන්නට ආයේ – මේ සංසාරේ

මගේ නම සාගල
ගම මොණරාගල
හවසට සීතල
ගැහුවේම රා කල

එපා මට පන්සිල්
දීපන් ඩන්හිල්
මේවනෙ පේන් කිල්
ලාවට දැන් චිල්

නෑ මට පෝක්
සතේටම බ්‍රෝක්
බට් නැව් ටෝක්
ලයිෆ් එක ශෝක්

මම ආස පාරේ – යන්න මට ඕනේ
මට ඕන තාලේ – ගයන්නට ආයේ
ලියන්නට ඕනේ – ජීවිතේ මාගේ
නොමැකෙන්නට ආයේ – මේ සංසාරේ

උබ නම් බොක්ක
වගේ බෙංගාල බොක්ක
කළඹලා මේ හක්ක
ඇඹරුව මගේ බොක්ක

ඉඳගෙන එකටම
මොළයට විදලම
බටරුත් නැතුවම
ඇරියලු සැරටම

ගන්නට බඩු
සල්ලි නෑ නේ මදු
මුන් ගහලම බදු
හිඳිලා මම සුදු

මම ආස පාරේ – යන්න මට ඕනේ
මට ඕන තාලේ – ගයන්නට ආයේ
ලියන්නට ඕනේ – ජීවිතේ මාගේ
නොමැකෙන්නට ආයේ – මේ සංසාරේ

වැඳගෙන ඇවිදින්
ණයටත් ඉල්ලන්
ෆෝන් දැන් ඕෆ් බන්
මම ෆුල් හොල්මන්

ගිහිල්ලා පන්සල්
රැක්කට පන්සිල්
බොක්කෙම කම්සිල්
සමනගේ බොරු හිල්

හවසට හන්ටින්ග්
උදේට ජම්පින්ග්
දවල්ට ස්ලීපින්ග්
මිනිහට ෂූටින්ග්

දීලම පුම්ක
යන්නේ නෑලු බොක
ඒ නිසා බොක්ක
දෙන්න එපා පුම්ක

මම ආස පාරේ – යන්න මට ඕනේ
මට ඕන තාලේ – ගයන්නට ආයේ
ලියන්නට ඕනේ – ජීවිතේ මාගේ
නොමැකෙන්නට ආයේ – මේ සංසාරේ

මදුරු පැටියාගෙ ලියුම

තුරුල් කරගෙන

මුහුණ සිඹ අද

ගිහින් එන්නම්

කියල ගිය ඔබ….

හවස් වන විට

නැති නිසාවට

අමුතු හැඟුමක්

ඇති උනා මට…..

විපරමක් කල

බැලු විටක මම

දුටුවා ඔබගේ

නිසල දේහය……

ටීවි එක ළඟ

ගුලි වෙලා ඔබ

කූඹි රංචුව

වටවෙලා ඇත….

මියැදිලා ඔබ

බිමට වැටුනම

කඩන් වැටුනේ

අපේ ලෝකය…..

කූඹි රංචුව

උබට විද්දට

රිදුම දැනුනේ

මගේ පපුවට…

සෙනෙහසෙන් ඔබ

තැනුව ලස්සන

පවුලෙ බර දැන්

මට පැටවි ඇත…

ඉගෙන ගන්නට

ගොඩක් දේ ඇත

නැතුව ඔබ ළඟ

හිස්වෙලා හිත….

නිසල ගත ළඟ

සසල මගෙ හිත

හොයනවා ඔබෙ

මිහිරි මතකය……

නැවත ඔබගේ

රුව දකින්නට

වරම් නැත මට

පෙට්ටියත් දැන්

සීල් කර ඇත….

දුප්පත් තාත්තාගෙ ලියුම

බෙල්ල කැපුවා
වගේ කැපුව
ණය වාරිකේ…..
බටර් නැතුවම
සැරට ඇරපු
බදු වාරිකේ…….
කමක් නැහැ මට
දුකක් නෑ තව
හුරුයි ජීවිතේ…..
ඇති ලොකුම දුක
දුක අහන් හිඳි
ගල් බෝතලේ…
මගෙන් ඈතට
ගෙන ගියා මේ
උරිම කැද්දමනේ…….

පින්සලක් ඇති
පාට ළඟ නැති
පාලු චිත්‍ර පොතේ…..
සැකිලි ඇන්දෙමි
උබව තනමින්
පාට නැතුව පුතේ….
රුවක් මතකයි
ඈත දිරනවා
අඳින් නැතුව පුතේ…
උබව අඳින්නද
එයලා අඳින්නද
අසරණයි මගෙ පුතේ….

පාර නොදනී
අරුත සොයනෙමි
මේ හිස් ජීවිතේ….
හුස්ම වැටුනට
නැවතිලා ඇත
මම තැනක පුතේ…
දිනක් එයි තව
තෝරා ගන්නට
මමද නැත්නම්
උබේ චිත්‍රෙද පුතේ…
වීසි කරපන්
මාව ගලවලා
ඇඳපන් චිත්‍රෙ උබේ!

ප.ලි
අරක්කු බොන එක කිසිම විදියකට මම සාධාරණීකරණය කරන්නෙ නෑ. ඒත් අපේ තියෙන සමාජෙට අනුව අපේ තාත්තාලාගෙ පරම්පරාව එයාලගෙ හැඟීම් ගොඩක් අනික් අය එක්ක බෙදා ගත්තෙ නෑ. එයාලා හිතුවෙ ඒක පිරිමිකමට අඩුවක් කියලා ඒ දුක, ඒ හැගීම් පිට කලේ අරක්කු බෝතලේට.

ජීවන ප්‍රශ්නවලින් මිරිකිලා තෙරපිලා ඉන්න තැනකදි එයාලාට එයාලගෙ දෙමව්පියොන්ට සලකන්න තෝරනවද? ළමයින්ට සලකන්න බලනවද? කියන ප්‍රශ්නෙට මූණ දෙන්න වෙනවා. ඒක උත්තර නැති අමුතුම ප්‍රශ්නයක්. “රුවක් මතකයි ඈත දිරනවා” කිව්වෙ දෙමව්පියො ගැන.
මේ කතාවෙදි මේ තාත්තා ගන්නෙ තීරණ තමයි එයාගෙ ළමයින්ට සලකන්න යන එක. හැබැයි එයා දන්නවා ඒක කරපු එක වැරදියි! එයා ඒක ගැන සතුටු නෑ. ඒක තමයි අන්තිමට කියන්නෙ

“පුතේ උබටත් එක දවසක ඔය තීරණය ගන්න ඒවි. ඒ දවසට උබ මාව අමතක කරලා උබේ ළමයි ගැන හිතපන්..උබ ඉස්සරහට පලයන්”

-සුරන්-

අභිමානවත් නිදහස

සුද්දෝ අපිට නිදහස දෙන්නෙ නැතුව හිටියා නම් හොඳයි කියලා මාත් 2022 වෙනකම්ම හිතන් හිටියා. උන් 1948 අපිට නිදහස දෙන්නෙ නැතුව තව හිටියා නම් අපේ රට මීට වඩා දියුණු වෙන්න තිබුනා කියලා තමා මම ඒ දවස්වල හිතුවෙ.

ඒත් ඒකත් මගේ එක “වහල් මානසිකත්වයක්” කියලා මට තේරුම් ගියේ 2022 ජනතා අරගලයෙන් පස්සෙ. අපි ජාතියක් විදියට පාලකයොන්ට විරුද්ධ උනේ අපිට ඒ දිගින් දිගටම ආපු පීඩනය තවත් දරා ගන්න බැරි උන නිසා.

ඉතිං ඒ වගේම පීඩනයක් හරි ඊට වැඩි පීඩනයක් ඒ දවස්වල ජීවත් උන මිනිස්සුන්ට තියෙන්න ඇති. මානසික නිදහසක්, තමන්‍ටම කියලා අභිමානයක් වෙනුවෙන් උන් සටන් කරන්න ඇති. ඒක නිසා සුද්දො තව කාලයක් හිටියා නම් කියලා මම ආයෙ කියන්නෙ නෑ.

මට දැන් තියෙන ප්‍රශ්නෙ ඕක නෙවෙයි! අපිට අභිමානවත් කියලා සමරන්න නිදහසක් තියෙනවද?

රට බංකොලොත් වෙලා ලෙල්ලටම වැටිලා ඉන්න වෙලාවක් මේක. ජනාධිපතිතුමා ළඟදි කතාවක කියනවා

“නිදහස් උත්සවේ නොකෙරුවොත් ලෝකෙ කියයි අපිට මේක කරන්නත් සල්ලි නෑ කියලා”

ඉතිං ඇත්තනේ හත්ඉලව්වෙ!!! අපිට සල්ලි නෑ තමා! ලොකේ එහෙම හිතන්න දෙයක් නෑ. උන් දන්නවා ඒක.

මෙච්චර දවසක් කතා කළා අපිට ණය දීපු රටවල් එක්ක සාකාච්චා කරලා ණය ප්‍රතිව්‍යූහගත (debt-restructuring) කරලා සහනයක් ගන්න. ඒ අස්සෙ අපි මෙහෙම ලොකුවට නිදහස් උත්සවයක් සමරන්න ගියොත් උන් සිරාවටම හිතනවා අපිට මෝල් කියලා!

නිදහස් උත්සවය මෙහෙම ලොකුවට සමරලා අපි පෙන්නන්න හදන්නෙ මොකක්ද? අපේ මිලිටරි ශක්තියද? (ත්‍රිවිධ හමුදාව හෑල්ලුවකට ගන්නෙ නෑ. ඒ කරපු සේවය තාමත් අද වගේ මතකයි)

අවුරුදු ගාණක් කැපකිරීම් කරලා ගත්තු නිදහස මම හෑල්ලු කරන්නෙ නෑ. ඒක අභිමානවත්! ඒකෙ දෙකක් නෑ!

මට මතකයි ඉස්සර අපි පොඩි දවස්වල ආච්චිඅම්මා පෙබරවාරි 04 පුදුම අභිමානයකින් නිදහස් උත්සවේ බලපු හැටි. පොඩි දවස්වල අපිටත් ඒ ගැම්ම තිබුනට ඒක ටික ටික අපිට නැති කලේ පාලකයො තමා

ඒත් මේ වෙලාවෙ මෙතන සමරන්න තියෙන්නෙ නිකේ පදහස තමා!

ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක, මිනිස්සු බදු වලින් පීඩනයකට ලක් වෙලා ඉන්න වෙලාවක, පෙට්‍රල් ඩීසල් ගෙන්නන්න සල්ලි නැති වෙලාවක කරන මේ සැමරුමෙන් ඇත්තටම වැඩක් තියෙනවද?

ගිය සතියෙ මගේ හොඳ උගත් මිත්‍රයෙක් මට කතා කරලා ලොකු අඳෝනාවක් කියෙව්ව. බදු ගැන! දැන් හොඳටම කල කිරිලා රට දාලා යන තැනටම කියල.

ණය වෙලා මගුල් කන්න ඕන නෑ තමන්ට පුළුවන් විදියට මගුල් ගත්තම ඇති කියන තැනට අපි අපේ සමාජය ටික ටික ගෙනියන්න හදද්දි මේ වගෙ ගොං වැඩ කරලා දෙන්න හදන මැසේජ් එක මට තේරෙන්නෙ නෑ

හැබැයි මම සම්පූර්ණ වැරදි වෙන්නත් පුළුවන්. මම කියපු කතාව හොඳටම වැරදි වෙන්න පුළුවන්. තව කෙනෙක්ට කියන්න පුළුවන් මිනිස්සු ඉන්න පීඩනය නැති කරන්න එක දවසකට මෙහෙම උත්සවයක් තියෙන එක හොඳයි මිනිස්සුන්ට සතුටු වෙන්න කියලා

ඒත් අපි තේරුම් ගන්න බලන්න ඕන එහෙම තාවකාලික වින්දනයකට අපි තව බදු ගෙවලා කැපකිරීම් කරනවද එහෙමත් නැත්නම් මේ වලෙන් ඉක්මනට ගොඩ එන්න බලනවද කියලා! එහෙම උනොත් අපිට සමරන්න වෙන්නෙ නිකේ පදහස තමා

අපේ ජීවිත

මහන්සියෙන් ගොඩනැගුව

විඳින්නට බැරි වෙච්ච

විඳවන්න හුරු වෙච්ච

ලස්සනයිලු ජීවිතය…..

නොනිමි වැඩ කන්දක

වැඩ මුරය අට පහට

මැෂිමකට සින්නක්කර

ලිව්වා අපි ජීවිතය……

හැමදාම එක දිගට

වැඩ එක්ක පොර බැද්ද

මැෂින් නම් දිව්වාට

දිරුවා අපේ ජීවිතය…..

මහවැලිය වගේ දිගට

එක පිටම එන ප්‍රශ්න

විසඳුමක් නැතුව අද

හිරවෙලා ජීවිතය…….

අපි හිටිය නැති වුවද

මැෂින් වැඩ එක දිගට

හුස්මද තව බරක් කර

ගෙවෙනවා ජීවිතය……

ආයෙත් ඔලුව උස්සන් එන පිරමීඩකාරයො

ලංකාවේ පාරාවෝ ආයේ වීදි බැහැලා. එක එක ජාතියේ නම් වලින් එක එක ඒවා ගේනවා. මේ දවස්වල ආර්ථික අර්බුදය එක්ක අපි ගොඩ දෙනෙක් හෙම්බත් වෙලා නන්නත්තාර වෙලා ඉන්න නිසා මේ වගේ වංචාවකට අහු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

මේ දවස්වල ගොඩ දෙනෙක් අහුවෙන එකක් තමා මේ PONZI SCHEMES. මොකක්ද මේ Ponzi scheme එකක් කියන්නේ? මේ නම හැදුනේ Charles Ponzi නිසා. එයා තමා මේක මුලින්ම 1919-1920දී පටන් ගත්තේ. මේ Ponzi scheme වලට තව අපි කියනවා
Robbing Peter to pay Paul කියලා. (රොබින් ගෙන් හොරකම් කරලා පීටර් ට ගෙවනවා)

මේ Ponzi schemes ජාති දෙකක් තියෙනවා

  1. තැන්පත්කරුවගේ ආයෝජන වලින්ම තැන්පත්කරුට ප්‍රතිලාභයක් ගෙවනවා
  2. පසුව පැමිණෙන තැන්පත්කරුවන්ගේ ආයෝජන වලින් මුලින් ඉන්න තැන්පත්කරුවන්ට ප්‍රතිලාභ ගෙවනවා

අපි මුලටම බලමු පලවෙනි ජාතිය ගැන

හිතන්න ඔයාගේ අතේ රුපියල් ලක්ෂයක් තියෙනවා ආයෝජනය කරන්න. දැන් ඔයා බලනවා මොනවද තියෙන විකල්ප අවස්ථා කියලා. අපි හිතමු අපිට තියෙන ඔප්ෂන්ස් මේ ටික කියලා

  1. වාණිජ බැංකුවක fixed deposit එකක් දැම්මොත් අපි හිතමු 20%ක් හම්බවෙනවා කියලා
  2. Treasury Bills (භාණ්ඩාගාර බිල්පත්) ගත්තොත් 15% හම්බවෙනවා කියල හිතමු
  3. රවීන් ගේ බැංකුවේ දැම්මොත් 12% ලැබෙනවා කියනවා
  4. සුරන් ගේ බැංකුවේ දැම්මොත් 45%ක් ලැබෙනවා කියනවා

එතකොට අපි කොහොමද මෙතන තාර්කිකව හිතන්නේ.

අපි Treasury Bills වලට කියන්නේ Risk free ඉන්වෙස්ට්මෙන්ට් කියලා. ඒ කියන්නේ කිසිම අවධානමක් නෑ Treasury Billsවල ආයෝජනය කරන එක. මොකද රජයෙන් වගකීම ගන්නවා ප්‍රතිලාභ ගෙවන්න. ඔලුවේ තියා ගන්න වටිනම පොයින්ට් එක තමා අපි ගන්න යන Risk එක (අවධානම). මොකද Return (ප්‍රතිලාභය) තීරණය වෙන්නේ අපි ගන්න risk එක මත. මේ දෙක අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධයක්. අපි ගන්න risk එක අඩු නම් අපිට අඩු return එකක් ලැබෙන්නේ. සල්ලි ආයෝජනය කරලා වැඩි risk එකක් අපි ගන්නවා නම් අපි වැඩිපුර return එකක් බලාපොරොත්තු වෙනවා

දැන් ඉතින් ඔයා වැඩි අවධානමක් ගන්න කැමති නැත්නම් ඔයාට පුළුවන් Treasury Billsවල ආයෝජනය කරන්න. අපිට කලින් කතා කරපු ඔප්ෂන්ස් වලින් වාණිජ බැංකුවක fixed deposit එකක් දැම්මොත් 20%ක් ලැබෙනවා. Treasury Billsවලට සාපේක්ෂව ඔයා මේවා වාණිජ බැංකුවක තැන්පත් කරන එකෙන් risk එකක් ගන්න නිසා ඔයාට Premium එකක් ලැබෙනවා වැඩිපුර 5%. මෙතන තියෙන ඔප්ෂන්ස් වලින් වැඩක් නැතිම වෙන්නේ රවීන්ගේ බැංකුව. ඔයා Risk එකක් අරන් රවීන්ගේ බැංකුවේ සල්ලි දැම්මොත් ඔයාට ලැබෙන්නේ 12%. මේක කිසිම තේරුමක් නෑ Risk එකක් ගන්නේ නැතුව Treasury Billsවලින් 15% ලැබෙනවා නම් ඇයි අපි Risk එකක් අරන් 12% බලාපොරොත්තු වෙන්නේ.

අපේ ඊළඟ ඔප්ෂන් එක. සුරන්ගේ බැංකුව. එයා කියනවා 45% දෙන්නම් කියල. එතකොට ඔයාගේ ඔලුවට යන්න ඕන මුල්ම පොයින්ට් එක තමා මෙයා කොහොමද එච්චර ගෙවන්නේ කියලා. Treasury Bills 15%යි, සාමාන්‍ය වාණිජ බැංකුවක් 20%යි. මූ කියනවා 45%දෙන්නම් කියලා! මෙතන අනිවාර්යෙන් මොකක් හරි බුලක් තියෙන්න ඕන!

හරි අපි හිතමු ඔයා ඒ risk එක අරන් සුරන් ගාව සල්ලි දැම්මා කියලා. ඔයා රුපියල් ලක්ෂයක් තැන්පත් කරපු ගමන්ම සුරන් ඔයාට රුපියල් 45,000ක් (45%) ප්‍රතිලාභ දෙනවා. ඒකෙන් ඔයා නියමට සතුටු වෙනවා. මොකද වෙන ආයෝජනයක් කලොත් ඔයාට ප්‍රතිලාභ ලැබෙන්න ආයෝජනය කල් පිරෙන්න ඕන. එත් මෙතනදි ඔයාට ක්ෂණික ප්‍රතිලාභයක් ලැබුනම ඔයා හොඳටම සතුටු වෙනවා.

හැබැයි ඔයා දන්නේ නෑ, ඔයාට ඒ 45,000 ලැබුනේ ඔයා තැන්පත් කරපු 100,000න් කියලා. ඊටපස්සේ සුරන් කියනවා ඔයාට තව හතරදෙනෙක් එක්කන් එන්න එයාලා deposit කරන සල්ලි වලින් ඔයාට තව කොමිෂන් එකක් දෙන්නම් කියලා. දැන් ඔයාට පට්ට හැපී. ගිහින් යාලුවොන්ට කියනවා මෙතන සල්ලි දාන්න කියලා. ඔයාට දැන් යාළුවොන්ගේ ඔලුව හෝදන්න ලේසියි මොකද ඔයා මේ අත්දැකීම අරන් නිසා. දැන් ඔයාගේ යාළුවො හතර දෙනා සල්ලි දානවා. සුරන් එයාලටත් 45% ගෙවනවා එයාලාගේ සල්ලි වලින්ම. දැන් යාලුවොත් හැපී. හැබැයි උන් දන්නෙත් නෑ සුරන් ඒ ප්‍රතිලාභ ගෙව්වේ උන් දාපු සල්ලි වලින් කියලා. ඒ යාළුවො හතර දෙනා තව හතරදෙනෙක් ගානේ ගේනවා. දැන් මේක පිරමීඩ් එකක් වෙනවා

එක්කෙනෙක්ගෙන් පටන් ගත්තේ, ඊටපස්සේ එක 4ක් උනා, ඊටපස්සේ 16ක් උනා, ඊට පස්සේ 64….ඔහොම ඔහොම වැඩි වෙනවා!

හරි එතකොට සුරන් මොකක්ද කරන්නේ? පොර මුකුත් කරන්න ඕන නෑ. මිනිස්සු සල්ලි තැන්පත් කරනවා එකෙන් 45% පොලි ගෙවනවා, තව පොඩි කොමිෂන් එකක් ගෙවනවා. ඉතුරු සල්ලි පොර ගන්නවා. මේකට අලුතෙන් අලුතෙන් තැන්පත්කරුවෝ එනකම් පොර මේ ගේම් එක ගහවි. එහෙම වෙනවා අඩු කියලා තේරුනොත් පොර කරන්නේ සල්ලි ටික එකතු කරගෙන රට පනින එක

මේක ලංකාවේ මීට කලින් වෙලා තියෙනවා! දැන්වත් අහු වෙන්න එපා!!

දෙවෙනි ponzi scheme එකේ වෙන්නෙත් මේ වගේම දෙයක්. පොඩි වෙනසයි තියෙන්නේ, මේකේ මුලින්ම සල්ලි තැන්පත් කරපු අයට ලොකු ප්‍රතිලාභයක් ගෙවනවා පස්සේ සල්ලි තැන්පත් කරන අයගෙන්. උදාහරණයක් විදියට මම සල්ලි තැන්පත් කරාම 15% return එකක් දීලා, මම අලුතෙන් ගේන අය තැන්පත් කරන ඒවාගේ වටිනාකමට මට තව 20% ගෙවනවා. මේකත් උන්ට දිගටම කරන්න පුළුවන් අලුතෙන් එවුන් සිස්ටම් එකට එනකල්! අලුතෙන් එවුන් එන්නේ නැති උනාම තමා හිර වෙන්නේ

මේක ලෝකේ පුරාම වගේ වෙලා තියෙනවා. ඔය අතරින් නමක් තියෙනව අමතක නොවෙන, ඇමරිකාවේ Bernie Madoff. පොර මෙහෙම ponzi scheme එකක් කරලා ඩොලර් බිලියන 65ක් වංචා කළා. ඩොලර් බිලියන!!!! ඒ දවස්වල ලංකාවේ නිෂ්පාදනය තිබුනෙත් ඩොලර් බිලියන 70ක් විතර. ඉතින් හිතා ගන්න පුළුවන් නේ

කොහොමද ඉතින් මේවයින් බේරෙන්නේ

සිම්පල්!! දන්නේ නැති මගුල් කරන්න යන්න එපා!!
කවුරුහරි යාලුවෙක් මෙහෙම proposal එකක් උස්සන් ආවොත් හොඳට study කරලා බලන්න. කොහොමද ඔය කියන තරම් ප්‍රතිලාභ ගෙවන්නේ කියලා. බලන්න ඒක ලියාපදින්චි කරලද මහ බැංකුව යටතේ කියලා. ඉන්න අධ්‍යක්ෂක මණ්ඩලය කව්ද බලන්න! හරි හමන් වෙබ් සයිට් එකක්, ඊ මේල් ඇඩ්‍රස් තියෙනවද, ඉන්වෙස්ට් කරන ක්‍රම පැහැදිලිව කියල තියෙනවද බලන්න. කිසිම වෙලාවක ඔයාගේ පෞද්ගලික තොරතුරු දෙන්න එපා

කොහොමත් මම හැමදාම කියන්න වගේ අපි හරි ආත්මාර්ථකාමී ජාතියක්. එහෙම තියෙද්දී තව කෙනෙකුට මෙච්චර ප්‍රතිලාභ අරන් දෙන්නේ ඇයි මේ යාලුවෝ වද වෙන්නේ කියල හිතන්න!!!

එක එක බයිලා කියාගෙන ඒවි. මේක ඩුබායි වලින් කරන්නේ. ඩොලර් වල ඉන්වෙස්ට් කරන්නේ, ලොක්කෝ ඉන්නේ ඇමරිකාවේ !! ඔය බයිලා වලට අහු වෙන්න ව්පා! හැම රෙද්දම google search කරන එකේ මේවත් බලන්න ඔය proposal ගැන internet එකේ කියවන්න!! දාර බොරු කියන්නේ! Social Media Influencers නෙවෙයි මොකා කිව්වත් හොඳට කල්පනා කරලා ආයෝජනය කරන්න. මේ ඔයාගේ සල්ලි!!!

මම මට ලියපු ලියුම

ඉන්නවද උබ ඔතන?
කියන්න දෙයක් තියෙනවා මට

මහන්සි නම්
පොඩ්ඩක් හති ඇරපන්
හැබැයි
මතකෙට අරන්
ඇයි උබ පටන්
ගත්තේ කියලා
ආයේ පටන් ගනින් !

පරණ පොත් දුකයි නම්
ඒ පොත් ටික වහපන්
හැබැයි ඒවයෙන්
ඉගෙන ගත්ත පාඩම්
හිතේ තියා ගනින්!

දැන් ලේසියට ඉඳලා
ඉස්සරහ අමාරු
කරගන්නේ නැතුව
දැන් අමාරුවෙන්
වැඩ කරලා
ඉස්සරහ
ලේසි කර ගනින්

පසු තැවිලි වෙනවනම්
උබ උබට
සමාව දියන්
අතීතය ඉවරයි
උබ ඉන්නේ වර්තමානේ
ඒක ආදරෙන් පිලිගනින්

අනිත් එවුන් වෙනයි
උබ වෙනයි කියලා
මතක තියා ගනින්
උන්ගේ ගමන උන් යාවි
උබට ඕන විදියට
උබේ ගමන උබ පලයන්

අනිත් උන් හිනාවෙයි
කියලා
උබේ හීන හංගන්
ඉන්න යන්න එපා
උබ මොනවා කරත්
උන් හිනා වෙනවා
ඒ හීනේ වටිනාකම
දන්නේ උබ විතරයි
හැබැයි
මොළේට ඉඩ දීපන්
හැඟීම් වලට තීරණ
ගන්නේ නැතුව
මොකද
හැඟීම් තාවකාලිකයි

මැරෙනවා කියලා දැනගෙන
ජීවත් වෙයන්
විඳවන්නේ නැතුව
ඉන්න ටිකේ
ජීවිතේ විඳගෙන

යාලුවන්ගෙ වික්‍රම 06- සරම්මුදලි වළව්වෙ අඹ ගහ

ටොංකගේ වික්‍රම. 2006 බැච් එකේ ටොංකා කියන්නේ ආගමක්. ඒ දවස්වල පොර නොදන්න කෙනෙක් නෑ. ටොංකා කියන නම හැදුන හැටි නම් මතක නෑ. පොර අපේ ඉස්කෝලෙට ආවේ 8 වසරේදී දෙබරවැව ඉස්කෝලේ ඉඳන්. ඒ දවස්වල අපි කිව්වේ දෙබරා කියලා. ඉස්කෝලෙට ඇවිත් සතියයි හිටියේ, ගෙදර මතක් වෙනවා කියල අඬල ගෙදර ගියා. ආයේ සති දෙකකින් විතර තමා ආවේ.

ටොංකා කරපු දේවල් ගැන වෙනම පොතක් ලියන්න පුලුවන්. හොඳ බොක්කක් තියෙන ආතල් ලෝකයක්!

අද පොඩි එක කතාවකින් පටන් ගන්නම්.

දෙබරවැව ඉස්කෝලේ ඉඳල ආපු මුල් දවස්වල පොර හොස්ටල් එකේ. හොස්ටල් එකේ ඉස්සර බලාගත්තේ අශෝක අයියා. මේ දවස්වලම තමා ස්ටාෆ් රූම් එක සරම් මුදලි වලව්ව බිල්ඩිමට ගෙනාවේ. ඒ ප්ලෑන් එක උනේ සරම් මුදලි වලව්ව 1920ගණන්වල තිබුන විදියට ආයේ හදල ගන්න. අලුතෙන් ඒ ලුක් එක එන විදියටම හැදුවා. හදලා ඉස්සරහ අඹ පැල හතරකුත් හිටෙව්වා. ඔය අඹ පැල හතර හිටෙව්වේ මට මතක විදියට චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය. ජනාධිපතිනි ඇවිත් හිටෙව්ව අඹ පැල නිසා කෘෂිකර්මය කරන මිස් ඒ පැල හතර බලා ගත්තේ ඇහැක් වගේ. කොටින්ම කියනව් නම් ඉස්කෝලේ වෙලාවට ඔය පැල ගාවින් ළමයින්ට යන්න දෙන්නෙත් නෑ.

දවසක් හොස්ටල් එක භාර සර්ට මළගෙයක් වෙලා අශෝක අයියට හොස්ටල් එක භාර දීලා සර් මළ ගෙදර ගිහින්. සර් නැති නිසා හොස්ටල් සෙට් එකට ෆුල් ආතල්, රෑ වෙනකම් හැමතැනම දුවලා පැනලා සෙල්ලම් කරලා.

ඔය අස්සේ සෙල්ලම් කරද්දී ටොංකා පස්සේ කව්ද දුවන් ඇවිත් ටොංකාගේ කකුල පැටලිලා අර එක අඹ පැළයක් උඩට වැටිලා. තලපතා පොළවෙ ගැහුව වගේ අඹ පැලේ එතනම සෙත්ත පෝච්චි!!!

මේක දැකපු අශෝක අයියා කුණුහරුප කියාගෙන අඬාගෙන එතනට දුවලා ආවා

“මොනවද බූරුවෝ තෝ කලේ….බලනවා තොගේ කඩි කුලප්පුව නිසා උන දේ…ගොන් හරකා”

බැන බැන ගෙන යද්දී ටික ටික අශෝක අයියගේ වොයිස් එක වෙනස් වෙලා දැන් පොර අඬනවා

“ඇයි මල්ලි….මම බැඳලා ළමයි දෙන්නෙක් ඉන්නවා…වයිෆ්ට ජොබ් එකක් නෑ මල්ලි..මේකෙන් මගේ ජොබ් එකත් ගහල ගියොත් මම පාරට වැටෙනවා. කව්ද මල්ලි මගේ ළමයි බලාගන්නෙ. මගේ ජීවිතේ විනාසයි. අනේ සන්තානම් මැණියනේ!!

දැන් හොස්ටල් සෙට් එකට පට්ටම අප්සට්. අශෝක අයිය ශේප් කරන්න ප්ලෑනක් ගහනව උන්. කොහොමහරි ටොංකාම කිව්වා ඒ උසේ ගාණට හරියන්න අඹ පැළයක් හොයන් එමු කියලා. රෑ 8ට මිෂන් එක පටන් ගත්තා, මාතර පුරාම පීරලා රෑ 11ට විතර පැළයක් හොයන් ටොංකා ආවා.

ඊළග ගේම උනේ මේක කෘෂිකර්මෙ ටීචර්ට අහු වෙන්න නැති වෙන්න හිටවන එක. කොහෙන් කොහොම හරි මැච් එක ගහල ඉවර වෙනකොට රෑ 2ටත් ළඟයි.

වැඩේ ඉවර උනාම අශෝක අයියත් හැපී. ඔක්කොම නිදා ගන්න ගියා.

පස්සෙන්දා උදේ ඉස්කෝලෙ පටන් ගන්න කලින් උදෙන්ම ටොංකා ගිහින් පැළ හතරටම වතුර දාලා ආවා එතකොට වැඩේ බැලන්ස් නෙ අරක අලුත් පැළයක් කියලා නෝට් වෙන්නෙ නෑ නෙ. ටීචර්ටත් ඉතිං සතුටුයි ළමයි අඹ පැලේ ආදරෙන් බලා ගන්නවා කියලා, මොකද ටීච එන්න කලින් දැන් හැමදාම උදේ පාන්දර ටොංකා පැළ හතරටම වතුර දානවා.

ඔහොම ඉතිං කාලයක් ගත උනා. අම්මටසිරි ටික දවසක් යද්දි තමා නෝට් උනේ. අනිත් අඹ පැල බට් අඹ ගස් තුනක්, ඒවා ලොකු වෙන්නෙ නෑ. ටොංකා ඉන්දපු අඹ පැලේ විතරක් හත් ඉලව්වට ගහපු කලාබර වගේ ලොකු වෙනවා. කාටවත් හිතා ගන්න බැරි උනා හේතුව මොකක්ද කියලා. කොහොමහරි හැමෝම අන්තිමට වැරැද්ද දැම්මෙ බිල්ඩිම හදන්න කොන්ත්‍රාත්තුව ගත්ත එවුන් බුලක් කරලා කියලා.

ඒ ගහ විතරක් පට්ට උස වෙලා අනිත් ඒවා පොඩි උනේ කොහොමද කියලා ඒ දවස්වල හෙණම අභිරහසක්. ඒ කාලෙ හිටපු උන් මේක කියෙව්වම දැන ගනීවි මේකත් ටොංකාගෙ වීරක්‍රියාවක් කියලා.

ටොංකාගෙ වීරක්‍රියාවක් එක්ක ආයෙ හම්බවෙමු