අම්මා- 2 කොටස

අපේ අම්මගේ ජීවිතේ ගැන එක සිංදුවකින් කියන්න පුළුවන් මේක තමා හොඳම සිංදුව…

ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා

ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා

රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු
සිත නෑ නිවන් දකින්නේ

රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත්
නෙත නෑ නිදි විඳ ගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
නින්දේ සිහින දකින්නේ
මහමායාවෙනි කවදාදෝ ඔය නෙත්
දරු සෙනෙහසින් මිදෙන්නේ

වෙල් දෙණි වල ඇවිදින දෙපා රිදෙන විට
විහඟ ගීත බණ පද වේවා
බෝ මළුවක ඇවිලෙන පහන් වැටක් සේ
තුන් සිත නිවී සැදේවා
මතු උපදින සසරේ විසාකාව වී
මෙත් මග නෙත් හමු වේවා
ඇත් රැජිණියනේ ඔබෙ නැලැවිළි ගීතය
ලොවම නිවන කවියක් වේවා

මේ සින්දුව හරියට අපේ අම්මටම ලියපු එකක් කියල මට හැමතිස්සෙම හිතෙනවා

ඉස්සර අපි පොඩි කාලේ ඉස්කෝලේ යද්දී අම්මා උදේ නැගිටින්නේ 4.30ට විතර…අපේ මහා ගෙවල් තිබුනේ වැලිගම…ගෙදර ඉඳන් ඉස්කෝලෙට කි.මි17ක් විතර තියෙනවා..උදේ පාන්දර නැගිටලා කෑම හදන්න පටන් ගන්නවා…..අම්මා ඉස්සර ඉඳලම වැඩ පටන් ගන්නේ උදේට ගුවන් විදුලි සේවයේ පිරිත් දාලා….

ඒ දවස්වල දැන් වගේ රේඩියෝ චැනල් ගොඩක් නැ…හැම ගෙදරම වගේ දන්නේ ගුවන් විදුලි සේවය….උදේ පාන්දර ප්‍රෝග්‍රෑම් එකක් තිබුනා “සුභාරතී” කියල…එකේ සද්දේ තමා ඒ දවස්වල ඉවසන්නම බැරි….

අම්මා ඉස්සෙල්ලම උදේට නැගිට්ට්වන්නේ අයියාව…අයියා උදේ 5.ට, මාව උදේ 5.15ට මල්ලිව උදේ 5.30ට…..තුන්දෙනාටම එකම වෙලාවට තේ හදන්නෙත් නෑ. නැගිටින වෙලාව බලලා වෙන වෙනම තේ හදන්නේ…ඇයි අපිට ඒ දවස්වල ඔය වගේ පොඩි පොඩි දේවල් නෝටිස් උනේ නැත්තේ??? වයසේ වැරැද්දද නැත්නම් අපි අපේ අයිතිවාසිකමක් කියල හිතුවද???

උදේට අම්මා අපිව නැගිට්ටවන එකත් හරිම ආදරෙන් කලේ… තේ එක හදා ගෙන ඇඳ ගාවට ඇවිත්….ආදරෙන් “පුතේ නැගිටින්න්න ඉස්කෝලේ යන්න තියෙනව” කියලා මුනට කිස් එකකුත් දීලා තමා අපිව ඇහැරවන්නේ…….

අයියාව ඉස්සෙල්ලම නැගිට්ට්වන්නේ එයා ලෑස්ති වෙන්න මාර වෙලාවක් ගන්න නිසා…එය නිසා තම අපිට ඉස්කෝලේ යන්න පරක්කු උනොත් පරක්කු වෙන්නේ…

අපි ලෑස්ති වෙන්න මූණ කට හෝදගෙන එලියට එද්දී…. සාලේ තියෙන කවිච්චියේ අපි තුන් දෙනාගේම එදාට අඳින්න තියෙන ෂර්ට්ස් තුනයි ( අයියගේ ෂර්ට් කොලර් එකේ K අකුර, මගේ ෂර්ට් එකේ I අකුර, රවී ගේ ෂර්ට් එකේ R) ඒ තුනම අයන් කරලා, කලිසම් තුනත් යන් කරලා, බැනියම්, අන්ඩර් වෙයාර්, මේස් කුට්ටම් වෙන වෙනම තියලා, සපත්තු දෙකත් පොලිෂ් කරලා….

හැම ඉරිදාම හවස අම්මා ෂර්ට්ස් 15යි, කලිසම් 9යි අයන් කරනවා…..

අම්මා කරපු මේ වැඩ වල ණය අපිට ආත්ම ගණනක් ගියත් ගෙවල ඉවර කරන්න බැරි වේවි….අපි ඒ දවස්වල අම්මා කරපු මේ දේවල් අගය කරපු නැති එක නම් මාරම පවක්….කෝ දෙන්න අම්මේ මම කර ගන්නම් කියල පොඩි කාලේ කිව්වේ නැත්තේ ඇයි????කෑම එක පොඩ්ඩක් පරක්කු උනාම මූණ අමුතු කර ගත්තේ ඇයි???අම්මා තනියම නේද කරන්නේ අපි උදව් වෙන්නම් කියල කිව්වේ නැත්තේ ඇයි???අම්මට මහන්සිද කියල ඇහුවේ නැත්තේ ඇයි???? ඒවා ගැන මතක් වෙද්දී දැන් නම් මහා කාලකන්නි හැඟීමක් එන්නේ……

පොඩි දවස්වල ඉන්ටර්වල් එකේ කන්න බත් ගෙනිච්චේ නැ…ඉන්ටර්වල් එකට කන්න අම්මා මොනවමහරි හදනවා….සමහර දවසට තුන් දෙනාට කෑම ජාති තුනක් හදල ඒවා වෙනම කෑම පෙට්ටිවල දාලා බෑග් එක ඇතුලටත් දානවා….

ඊටපස්සේ තුන් දෙනාම ලෑස්ති වෙලා ආවට පස්සේ සාලේ කවිච්චිය වාඩි වෙලා තුන් දෙනාටම කෑම කවනවා….එකත් ලොකු කතන්දරයක්…..එළවලු තුන හතරක් තියෙනව හැමදාම….අයියා නම් එළවලු ජාති ඔක්කොම කනවා, මම කියනවා අම්මේ මට මේවා දාන්න එපා, මේක දාන්න…රවීත් එහෙමයි….දැන් හිතල බැලුවම තමා කරපු ගොන්කම් තේරෙන්නේ…..

ඉස්කෝලේ ගිහින් ගෙදර ආවමත් එහෙමයි තුන් දෙනාම ආයේ කවිච්චියේ තියාගෙන කෑම කවනවා….

කෑම කාලා ටික වෙලාවකින් තුන් දෙනාම යන්න ඕන අම්මා එක්ක හොම්වර්ක් කරන්න…තුන්දෙනාම ලඟින් වාඩි කරවාගෙන
අම්මි අපේ ඉස්කෝලේ වැඩ ටික කරවනවා….මොනවහරි නොසැලකිල්ලෙන් අපි වැරැද්දක් කලොත් අම්මා ගාව ඉස්සර තිබුනා නිල පාට පනාවක්…ඕකෙන් දෙනවා ෂොට් එකක්…..

අයියට පනාවෙන් ගැහුවම අයියා අඬාගෙන යනවා එතනින්…ටික වෙලාවකින් ආයේ එනවා…මට පනාවෙන් ගැහුවොත් මම අඬාගෙන හොටු පෙරා ගෙනම එතනට වෙලා වැඩ කරනවා…රවීට ගැහුවම පොර අඬා ගෙන යනවා යනවමයි ආයේ ලොවෙත් එන්නේ නැ….ඒ අතින් මම හොඳයි

අපේ අම්මා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අම්මා කෙනෙක්……එයාට අපෙන් තොර ලෝකයක් ඒ දවස්වල තිබුනෙත් නැ..තාමත් නෑ

මතු සම්බන්දයි

Published by

suran123

MBA (UK). B.Sc Acc Special (USJP). ACMA. CGMA

11 thoughts on “අම්මා- 2 කොටස”

  1. අපි සතිඅන්තෙ ඇවිත් වැලිගම ඉදන් ඉස්කෝලෙ යනකොට පොඩි අම්මා ඔය විදියටම කලා.. නමින් පොඩි උනාට හදවතින අම්මාට සම කලහැකි❤️

    Like

Leave a comment