
අවුරුද්දට ක්ලාස් නිවාඩු නිසා ගමේ ආවා…පොඩි කාලෙ අපි හැදුන තැන….මොන තූත්තුකුඩියක ගිහින් හිටියත් මහගෙදර ළං වෙද්දි අමුතුම අපේ කමක් දැනෙනවා…ඒ ෆීලින්ග් එක වෙන කොහේ ගියත් දැනෙන්නෙ නෑ…
හැබැයි ඉතිං දැන් ඉස්සර වගේ නෙවෙයි….ගමේ ඉන්නෙ අලුත්ම අමුතුම ජෙනරේශන් එකක්..ලොකු කැප් දාලා…ලොකු ටීශර්ට් ඇඳන්…වයසට වඩා මෝරන්න හදන අමුතුම ඇටිටියුඩ් තියෙන සිප්පි කොල්ලො ඉන්නෙ…..
මම උන්ව දන්නෙත් නෑ…උන් මාව දන්නෙත් නෑ….
පරණ මිනිස්සු දැක්කම නම් කට පුරාම හිනා වෙනව ළඟට ඇවිත් කතා කරනව..
අම්මයි තාත්තයිත් දැන් වැඩිය ගමේ නැති නිසා…මහගෙදරත් ටිකක් ගරා වැටිලා….ඒත් අවුරුද්ද නිසා කට්ටිය එන නිසා ගෙදරට අමුතු සිරියාවක් අම්ම ගෙනත් තිබුනා….
මම ගෙදර ආපු ගමන් මගේ සුපුරුදු ප්‍රශ්නෙ අම්මගෙන් ඇහුවා…
“අම්මෙ වතුර තියෙනවද”
කොළඹ වගේ නෙවෙයි….මෙහේ වතුර එන්නෙ දවස් දෙකකට පාරක්….ඒ ආවම ටැංකියට මෝටරෙ ගහලා වතුර පුරව ගන්න ඕන… මේ කාලෙට කොහොමත් පෑවිල්ල නිසා වතුර අඩුයි…..
“හරි හරි බය වෙන්න එපා…ටැංකිය පිරිලා තියෙන්නේ” කියලා අම්ම මට ඔලුවට කිස් එකක් දුන්නා…
මම බඩු ටික කාමරේ තියලා….එළියෙ වැරැන්ඩා එකට ආවා වාඩි වෙන්න තාත්තත් එතන හිටපු නිසා…
පුටුවෙ වාඩි වෙලා මම තාත්තාගෙන් ඇහුවා
“තාත්තෙ ලාල් මාමට මොකද උනේ?
තාත්තා : “කව්ද? බකට් ලාල්ද?
මම : “ඔව් ඔව්”
තාත්තා: “ඔය ගෙදර ඉන්නෙ”
නම ලාල් උනාට…හැමෝම දන්නෙ “බකට් ලාල්” කිව්වම… පොඩි දවස්වල අපි තුන් දෙනාට ආදරෙන් හිටියෙ…කාටවත් එහෙම කරදරයක් කරපු මනුස්සයෙක් නෙවෙයි….වැඩිය පොතේ දැනුමකුත් නෑ….මාලු බිස්නස් කරන් පාඩුවෙ හිටියා
ඒ වුනාට එක නාගරික මන්ත්‍රී කෙනෙක් හිටිය පොරගේ වැඩේ උනේම මේ ලාල්ට කරදර කරන එක.ලාල්ට විතරක් නෙවෙයි අනිත් මිනිස්සුන්ටත්….
පොරගෙ ලොකුකම පෙන්නන්න මේ මනුස්සයට අම්බානක කරදර කළා…ලාල්ගෙ මාලු ලෑල්ල දවස් දෙක තුනක්ම කැඩුවා…එතනට ඇවිත් කුණුහරුප කියලා සද්දෙ දාලා යනවා…ලාල් ඉතිං හැමදාම වගේ ඉවසන් හිටියා….අරූ දැනන් හිටියේ නෑ හැම මිනිහටම ඉවසීමේ සීමාවක් තියෙනවා කියලා….
මේ සිද්ධිය උනේ අපේ චූටි අම්මගෙ මගුල් ගෙදර දවසෙ…මම එතකොට එක වසරෙ හරි දෙක වසරෙ හරි…..මගුල් ගෙදර තිබුනෙ වැලිගම තානායමේ…
තානායම ඉස්සරහ තමා “රේන්ද පැල” තියෙන්නේ…ඔය රේන්ද පැලේ තමා මාලු වෙන්දේසි කරන්නෙ…ගොඩක් අය මාලු ලෑලි දාගෙන මාලු විකුණන්නෙත් ඒ ළඟම තමා.. ලාල් ගෙ මාලු ලෑල්ලත් ඒ ළඟ…
ඉතිං මගුල් ගෙදර වැඩ ජයටම යනකොට…අපිට එක පාරට මාර කාලගෝට්ටියක් ඇහුණා..
මිනිස්සු කෑ ගහනවා…මොර දෙනවා…ලතෝනි දෙනවා…අපිත් පොඩ්ඩක් එලියට බැහැලා බැලුවා….
අම්මටසිරි…ලාල් මාමා මන්නයක් ලේ පිරිච්චි මන්නයක් උස්සන් හෝටලේ දොර ගාව ඉඳන් කෑ ගහල කියනවා
“කීර්ති අයියා…මුදුන් මුලයි..පිළිකාවයි මම අයින් කරලා වැඩේ දුන්නා” කියලා
කීර්ති අයියා කිව්වෙ අපේ තාත්තට…පොර අර දෙනෝදාහක් බලන් ඉද්දි අර නාගරික මන්ත්‍රීට මන්නෙන් ගහලා…මන්ත්‍රී ඔන් ද ස්පොට්…..ලාල් නිකන් එහෙම කිව්වෙ අපේ තාත්ත කොන්ත්‍රාත්තුවක් බාර දුන්න වගේ…..
කොහෙන් කොහොම හරි ඉතිං පොලීසිය ලාල්ව අල්ලන් ගියා…..මම ඉස්සර කිව්ව වගේ පොර එහෙම පොතේ පතේ දැනුම ලොකුවට තිබුන ඩයල් එකක් නෙවෙයි….ඒ වුනාට පොර හිරේ ඉන්නකොට නීති පොත් ගෙනල්ලා කියවලා…ඔක්කොම පොයින්ට් ඉගෙන ගෙන…ලෝයර් කෙනෙක් අල්ලන්නෙ නැතුව…පොරගෙ නඩුවට පොරම ඇපියර් වෙලා අවුරුදු 8කින් විතර නිදහස් වෙලා ගෙදර ආවා….ඒ අතින් බලද්දි පට්ට වැඩ්ඩෙක් තමා…..(හැබැයි මිනිහෙක් මරපු එක මම කීයටවත් සාධාරණීකරණය කරන්නෙ නෑ)
ඕක නෙවෙයි හොඳම කතාව
ඉතිං මිනිහා නිදහස් වෙලා ආව දවස්වල අපේ අම්මයි තාත්තායි ගිහින් තිබුනා පොර ව බලලා එන්න…
එතනදි අපේ අම්ම කිව්වලු
“දැන්වත් ඉතිං ලාල් නෝන කියන දෙයක් අහන් පාඩුවෙ ගෙදරට වෙලා ඉන්න”
ලාල්: “කුමාරි අක්ක මේ පිස්සු කතා කරනවා….මේ ගෑනි තමා මන්නෙ ගෙනත් දුන්නෙ කොටල දාපන් කියලා”
-නිමි-