ඉස්සර කැම්පස් එකේ දෙවෙනි අවුරුද්ද වෙනකම්ම මගේ කොණ්ඩෙ තිබුනා. කොණ්ඩෙ යන්න පටන් ගත්තෙ දෙවෙනි අවුරුද්ද අන්තිමේදී.
කොණ්ඩෙ යන්න පටන් ගත්ත එක මට මාරම මානසික වදයක් උනා. මම අම්බානකම වැටුනා මානසිකව. හැමදාම හවස ඕක ගැන කල්පනා කරන්න ගත්තා. වැඩියෙන්ම අවුල් ගියේ යාලුවො එක එක නම් කියන්න ගත්තම.
අඩෝ තට්ටයෙක් වෙන්න යන්නෙ, වටේ කෙස් මැද හිස්, ඔය වගේ ඒවා කියද්දි ඒ දවස්වල පට්ටම අවුල්. මම තනියම අඬලත් තියෙනව මේ කේස් එක නිසාම.
දෙවෙනි අවුරුද්ද ඉවර වෙලා ඉන්ටර්න්ශිප් පටන් ගත්ත නිසා මගේ අතට සල්ලි ටිකක් ලැබුනා. එතකොට මගේ පඩිය රුපියල් දහනවදාහයි. ඒකෙන් රුපියල් දහදාහක්ම ගියේ කොණ්ඩෙ බෙහෙත් වලට. මම එච්චරම ප්‍රෙෂර් එකේ හිටියේ.
බෙහෙත් පාවිච්චි කරනකම් කොණ්ඩෙ යන එක නැවතුනා. බෙහෙත් නවත්තපු ගමන් ආයෙම යන්න පටන් ගත්තා. මට ටික ටික එතකොට තේරුම් ගියා මේක හරියන සෙල්ලමක් නෙවෙයි කියලා. හම්බකරන පඩියෙන් කිසි ඉතුරුවක් නෑ.
ආයෙම ඉතිං ඩිප්‍රෙස්ඩ්. මට තිබුන ලොකුම ප්‍රශ්නෙ උනේ අනිත් අය මට හිනා වෙන එක. එක එක නම් කියන එක. ටික දවසක් යද්දි මට තේරුම් ගියා උන් හිනා වෙන එක, උන් නම් හදන එක මට වෙනස් කරන්න බෑ කියලා.
ඔහොම හිතලා එක දවසක් මම ෆුල් තට්ටෙ ගෑවා. එදා යාලුවො අම්බානක නෝන්ඩි කලා, තට්ටයා කියලා විහිලු කලා, නාකියා වගේ කිව්වා. හැබැයි මම එදා උදේ හිතාගෙන ගියේ උන් කියන ඒවා මේ කනෙන් අහලා අනිත් කනෙන් පිට කරනවා කියලා. එහෙම හිතාගෙන ගියාට බොරු කියන්න ඕන නෑ ටිකක් විතර වැටුනා..ඒත් මම ආයෙ කොණ්ඩෙ වවන්න හිතුවෙ නෑ. දිගටම තට්ටෙ ගෑවා. උන් කොච්චර එක එක ජාති කිව්වත් මට කිසිම ගාණක් නැති උනා.
එතකොට තමා මට තේරුම් ගියේ මේ ඔක්කොම උනේ මම මාවම මගේ ජීවිතේට පිළිගත්ත නිසා කියලා. ඒක මම ජීවිතේ ඉගෙන ගත්ත හොඳම පාඩමක්. මම එහෙම නොකර හිටියනම් සමහරවිට මට මානසික ලෙඩක් හැදෙන්න ඉඩ තිබුනා කොන්ඩෙ ප්‍රශ්න නිසා.
අපි ජීවිතේ මොනව කළත් මිනිස්සු මොනවමහරි කියනවා. ඒක නවත්තන්න අපිට බෑ. ඒ මොනව උනත් අන්තිමට තමන්ට තමන් විතරයි ඉතුරු වෙන්නෙ. ඒක නිසා කොහොමහරි තමන් තමන්වම පිළිගන්න බලන්න. ඒක පට්ටම පාඩමක්
ප.ලි:
දැන් මට ඕන නම් කොණ්ඩෙ හිටවන්න වත්කමක් තියෙනවා. ඒත් මම ඒක කරන්නෙ නෑ. මම මාවම මේ විදියට පිලිගෙන ඉවරයි දැන්. මට දැන් තට්ටයා කිව්වට කිසි ගාණක් නෑ මම ඒ පාඩම ඉගෙනගත්ත නිසා. ඒත් තව කාටහරි කොණ්ඩෙ යන එකට හිනා වෙලා විහිලු කරන්න යන්න එපා. ඒක වෙන කෙනා විතරයි ඒකෙ වේදනාව දන්නෙ