මට පොඩිකාලෙ ඉඳන් කවදාවත් ජීවිතේටම ලෙක්චරර් කෙනෙක් වෙන්න කිසිම හීනයක් තිබුනෙ නෑ. ඉස්සර පන්තියෙ අන්තිම පේළියට වෙලා උගන්වන සර්ට මොකක් හරි ජෝක් එකක් කරන් හිටිය මට නිකන් දිට්ටදම්මවේදනීය කර්මයක් පඩිසන් දුන්න වගෙ කියලත් වෙලාවකට හිතෙනවා.
මට පොඩිකාලෙ ඉඳලා stage fright එකක් තිබුනා. කට්ටියක් ඉස්සරහට ගිහින් කතා කරන එක මට ජීවිතේටම කරන්න බැරුව තිබුන එකක්. හැබැයි එහෙම ගිහින් කතා කරන එවුන්ට ඇද කරන එක නම් සුපිරියටම කලා.
කැම්පස් එකේදි පවා group presentation එකක් තියෙනකොට මම තමා slides ටික හදන්නයි slides ටික මාරු කරන්නයි භාර ගන්නෙ, මොකද ඒ කරන කෙනා present කරන්න ඕන නෑ. කැම්පස් එකේ අපේ සෙට් එක ඒක හොඳට දන්නවා. මම එච්චරට බයයි කට්ටියක් ඉස්සරහ කතා කරන්න.
ඉතිං මම කැම්පස් එකේ ඉද්දි හැදුනෙත් නෑ. ඉන්ටර්න්ශිප් යනකාලෙ මට අලුත් තැනක ඉන්ටර්විව් එකක් ආවා. එතන ඉන්ටර්විව් එක මම හොඳට මූණ දුන්නා, එයාලා දුන්න පේපර් එකත් හොඳටම කලා. ඊට පස්සෙ එයාලා මට ටොපික් එකක් දුන්නා ප්‍රසන්ටේශන් එකක් කරන්න. මම ඒක හත්පොලේම ගාගත්තා. ජීවිතේට වෙච්ච හොඳම ලැජ්ජවීමක් ඒක මට. මම එදා ගෙදර ආවම හිතාගත්තා මේ තියෙන බය මම කොහොමහරි ඉවර කරගන්න ඕන කියලා.
කොහෙන්කොහොම හරි ඒක හදාගෙන්නෙ නැතුව අවුරුදු දෙකතුනක් ගියා. ඔහොම ගිහින් 2012 දි අපේ ලොකු තාත්තගෙ ලොකු පුතා කතා කරල කිව්වා Wisdom එකෙන් බ්‍රාන්ච් එකක් මාතර පටන් ගන්න යන්නෙ. එයාගෙ යාලුවෙක් තමා ඉන්නෙ. ලෙක්චරර්ස්ලා හොයනවා මාව අඳුන්වල දෙන්නද කියලා.
මගේ එකපාරට ඔලුවට ගියේ, දැන් බයවෙලා හිටියා ඇති මම මේකෙන් එලියට එන්න ඕන කියලා. ඉතිං ගත්තු කටටම මම හා කිව්වා.
විස්ඩම් එකේ දැන් පළවෙනි audition එකට දවසක් හම්බ උනා. මම ඉතිං හොඳටම ලෑස්ති උනා. හොඳට ලෑස්ති වෙලා ස්ටේජ් එකට ගියාට මම හොඳටම බය වෙලා ඒක චොර කරගත්තා. මම හිතුවා ඒක ඉවරයි කියලා. ආයෙ මම වැඩේ අල කර ගත්තා කියලා.
ඒත් එදා audition පැනල් එකේ මට උගන්වපු සර් කෙනෙක් හිටියා. ශනිල් ජයසේකර සර්. සර් කොහොමහරි මට තව චාන්ස් එකක් දුන්නා විතරක් නෙවෙයි. ඊළඟ audition එකට ලෑස්ති වෙන්න මාව හොඳට train කලා ස්කයිප් එකෙන්. සර් තමා ඒ දවස්වල මගේ පිටිප්ස්සෙ ඉඳන් මාව මේකට යොමු කලේ. ඒ දීපු උදව්වට ඉතිං ස්තුති කරන්න වචන නෑ.
දෙවෙනි auditon එක මම හොඳටම කලා. මට ඒ වෙද්දි ටික ටික මගේ ආත්මශක්තිය හැදීගෙන ආවා මට මේක කරන්න පුළුවන් කියලා. ආත්මශක්තිය හැදෙනකොට මට තේරුනා දැන් මේක මගේ ඇඟේ තියෙනව කියලා. ඇඟේ මේක තියෙනවා කියලා තේරුම් වෙද්දි මට තේරුනා මේක තමා මගේ passion එක කියලා. එහෙමෙ වෙද්දි තමා මම තීරණය කලේ ෆුල්ටයිම් මේක කරන්න ඕන කියලා.
මම මගේ බය ඇතුලෙ ජීවත් වෙන්න හිතුව නම් මම කවදාවත් මේ ෆීල්ඩ් එකට එන්නෙ නැතුව ඉන්න තිබුනා. ජීවිතේ එක තැනක් එනවා අපි අපේ comfort zone එකෙන් එලියට යන්න ඕන කියලා හිතෙන.
එහෙම හිතෙන තැනදි දෙතුන් පාර හිත හිත ඉන්න එපා, ඒ බය නැති කරන්න පළවෙනි ස්ටෙප් එක ගන්න. ඒ ස්ටෙප් එක ගන්න ලේසි නෑ. ඒ වුනාට ඒක කරන්න.
ඔය පළවෙනි පියවර ගන්න අපි බය වෙන්නෙ ගොඩක් වෙලාවට අපි ෆේල් වේවි, ෆේල් උනොත් මිනිස්සු හිනා වේවි කියන බයට. අපි මොනව කළත් මිනිස්සු හිනා වෙනවා. ඒක නවත්තන්න බෑ. කවදහරි ජීවිතේ මට ඒක කරන්න බැරි උනා කියලා පසු තැවිලි වෙනවට වඩා මට ඒක කරන්න බැරි උනත් මම උත්සාහ කලා කියන එක වටිනවා කියලයි මට හිතන්නෙ.
ඉස්සෙල්ලම හිතන්න මොකක්ද හිතේ තියෙන බය කියලා. ඊට පස්සෙ ඒක නැති කරන්න ගන්න පුළුවන් පොඩිම පියවර ගන්න. එතකොට එන ආත්මශක්තියෙන් ඒ බය නැති කර ගන්න පුළුවන්
You never know your potential, until you unleash your inner beast
-සුරන්-