සුද්දෝ අපිට නිදහස දෙන්නෙ නැතුව හිටියා නම් හොඳයි කියලා මාත් 2022 වෙනකම්ම හිතන් හිටියා. උන් 1948 අපිට නිදහස දෙන්නෙ නැතුව තව හිටියා නම් අපේ රට මීට වඩා දියුණු වෙන්න තිබුනා කියලා තමා මම ඒ දවස්වල හිතුවෙ.
ඒත් ඒකත් මගේ එක “වහල් මානසිකත්වයක්” කියලා මට තේරුම් ගියේ 2022 ජනතා අරගලයෙන් පස්සෙ. අපි ජාතියක් විදියට පාලකයොන්ට විරුද්ධ උනේ අපිට ඒ දිගින් දිගටම ආපු පීඩනය තවත් දරා ගන්න බැරි උන නිසා.
ඉතිං ඒ වගේම පීඩනයක් හරි ඊට වැඩි පීඩනයක් ඒ දවස්වල ජීවත් උන මිනිස්සුන්ට තියෙන්න ඇති. මානසික නිදහසක්, තමන්‍ටම කියලා අභිමානයක් වෙනුවෙන් උන් සටන් කරන්න ඇති. ඒක නිසා සුද්දො තව කාලයක් හිටියා නම් කියලා මම ආයෙ කියන්නෙ නෑ.
මට දැන් තියෙන ප්‍රශ්නෙ ඕක නෙවෙයි! අපිට අභිමානවත් කියලා සමරන්න නිදහසක් තියෙනවද?
රට බංකොලොත් වෙලා ලෙල්ලටම වැටිලා ඉන්න වෙලාවක් මේක. ජනාධිපතිතුමා ළඟදි කතාවක කියනවා
“නිදහස් උත්සවේ නොකෙරුවොත් ලෝකෙ කියයි අපිට මේක කරන්නත් සල්ලි නෑ කියලා”
ඉතිං ඇත්තනේ හත්ඉලව්වෙ!!! අපිට සල්ලි නෑ තමා! ලොකේ එහෙම හිතන්න දෙයක් නෑ. උන් දන්නවා ඒක.
මෙච්චර දවසක් කතා කළා අපිට ණය දීපු රටවල් එක්ක සාකාච්චා කරලා ණය ප්‍රතිව්‍යූහගත (debt-restructuring) කරලා සහනයක් ගන්න. ඒ අස්සෙ අපි මෙහෙම ලොකුවට නිදහස් උත්සවයක් සමරන්න ගියොත් උන් සිරාවටම හිතනවා අපිට මෝල් කියලා!
නිදහස් උත්සවය මෙහෙම ලොකුවට සමරලා අපි පෙන්නන්න හදන්නෙ මොකක්ද? අපේ මිලිටරි ශක්තියද? (ත්‍රිවිධ හමුදාව හෑල්ලුවකට ගන්නෙ නෑ. ඒ කරපු සේවය තාමත් අද වගේ මතකයි)
අවුරුදු ගාණක් කැපකිරීම් කරලා ගත්තු නිදහස මම හෑල්ලු කරන්නෙ නෑ. ඒක අභිමානවත්! ඒකෙ දෙකක් නෑ!
මට මතකයි ඉස්සර අපි පොඩි දවස්වල ආච්චිඅම්මා පෙබරවාරි 04 පුදුම අභිමානයකින් නිදහස් උත්සවේ බලපු හැටි. පොඩි දවස්වල අපිටත් ඒ ගැම්ම තිබුනට ඒක ටික ටික අපිට නැති කලේ පාලකයො තමා
ඒත් මේ වෙලාවෙ මෙතන සමරන්න තියෙන්නෙ නිකේ පදහස තමා!
ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක, මිනිස්සු බදු වලින් පීඩනයකට ලක් වෙලා ඉන්න වෙලාවක, පෙට්‍රල් ඩීසල් ගෙන්නන්න සල්ලි නැති වෙලාවක කරන මේ සැමරුමෙන් ඇත්තටම වැඩක් තියෙනවද?
ගිය සතියෙ මගේ හොඳ උගත් මිත්‍රයෙක් මට කතා කරලා ලොකු අඳෝනාවක් කියෙව්ව. බදු ගැන! දැන් හොඳටම කල කිරිලා රට දාලා යන තැනටම කියල.
ණය වෙලා මගුල් කන්න ඕන නෑ තමන්ට පුළුවන් විදියට මගුල් ගත්තම ඇති කියන තැනට අපි අපේ සමාජය ටික ටික ගෙනියන්න හදද්දි මේ වගෙ ගොං වැඩ කරලා දෙන්න හදන මැසේජ් එක මට තේරෙන්නෙ නෑ
හැබැයි මම සම්පූර්ණ වැරදි වෙන්නත් පුළුවන්. මම කියපු කතාව හොඳටම වැරදි වෙන්න පුළුවන්. තව කෙනෙක්ට කියන්න පුළුවන් මිනිස්සු ඉන්න පීඩනය නැති කරන්න එක දවසකට මෙහෙම උත්සවයක් තියෙන එක හොඳයි මිනිස්සුන්ට සතුටු වෙන්න කියලා
ඒත් අපි තේරුම් ගන්න බලන්න ඕන එහෙම තාවකාලික වින්දනයකට අපි තව බදු ගෙවලා කැපකිරීම් කරනවද එහෙමත් නැත්නම් මේ වලෙන් ඉක්මනට ගොඩ එන්න බලනවද කියලා! එහෙම උනොත් අපිට සමරන්න වෙන්නෙ නිකේ පදහස තමා