බෙල්ල කැපුවා
වගේ කැපුව
ණය වාරිකේ…..
බටර් නැතුවම
සැරට ඇරපු
බදු වාරිකේ…….
කමක් නැහැ මට
දුකක් නෑ තව
හුරුයි ජීවිතේ…..
ඇති ලොකුම දුක
දුක අහන් හිඳි
ගල් බෝතලේ…
මගෙන් ඈතට
ගෙන ගියා මේ
උරිම කැද්දමනේ…….
පින්සලක් ඇති
පාට ළඟ නැති
පාලු චිත්‍ර පොතේ…..
සැකිලි ඇන්දෙමි
උබව තනමින්
පාට නැතුව පුතේ….
රුවක් මතකයි
ඈත දිරනවා
අඳින් නැතුව පුතේ…
උබව අඳින්නද
එයලා අඳින්නද
අසරණයි මගෙ පුතේ….
පාර නොදනී
අරුත සොයනෙමි
මේ හිස් ජීවිතේ….
හුස්ම වැටුනට
නැවතිලා ඇත
මම තැනක පුතේ…
දිනක් එයි තව
තෝරා ගන්නට
මමද නැත්නම්
උබේ චිත්‍රෙද පුතේ…
වීසි කරපන්
මාව ගලවලා
ඇඳපන් චිත්‍රෙ උබේ!
ප.ලි
අරක්කු බොන එක කිසිම විදියකට මම සාධාරණීකරණය කරන්නෙ නෑ. ඒත් අපේ තියෙන සමාජෙට අනුව අපේ තාත්තාලාගෙ පරම්පරාව එයාලගෙ හැඟීම් ගොඩක් අනික් අය එක්ක බෙදා ගත්තෙ නෑ. එයාලා හිතුවෙ ඒක පිරිමිකමට අඩුවක් කියලා ඒ දුක, ඒ හැගීම් පිට කලේ අරක්කු බෝතලේට.
ජීවන ප්‍රශ්නවලින් මිරිකිලා තෙරපිලා ඉන්න තැනකදි එයාලාට එයාලගෙ දෙමව්පියොන්ට සලකන්න තෝරනවද? ළමයින්ට සලකන්න බලනවද? කියන ප්‍රශ්නෙට මූණ දෙන්න වෙනවා. ඒක උත්තර නැති අමුතුම ප්‍රශ්නයක්. “රුවක් මතකයි ඈත දිරනවා” කිව්වෙ දෙමව්පියො ගැන.
මේ කතාවෙදි මේ තාත්තා ගන්නෙ තීරණ තමයි එයාගෙ ළමයින්ට සලකන්න යන එක. හැබැයි එයා දන්නවා ඒක කරපු එක වැරදියි! එයා ඒක ගැන සතුටු නෑ. ඒක තමයි අන්තිමට කියන්නෙ
“පුතේ උබටත් එක දවසක ඔය තීරණය ගන්න ඒවි. ඒ දවසට උබ මාව අමතක කරලා උබේ ළමයි ගැන හිතපන්..උබ ඉස්සරහට පලයන්”
-සුරන්-