අද පාඩම- ඉන්ටර්නෙට් සර්ච් හිස්ට්‍රි එක ඩිලීට් කිරීමේ වැදගත්කම

මේ සිද්දිය උනේ දැනට අවුරුදු 8-9කට විතර කලින්.

ඒ දවස්වල මම වැඩ කරපු ඔෆිස් එකේ බොස් මාත් එක්ක මාර ෆිට්. ඕන දෙයක් බොස් එක්ක කතා කරන්න පුළුවන්. වල්පල් ඔක්කොම කතා කරන්න පුළුවන් ඉතිං බොස් එක්ක.

එක දවසක් උදේ පාන්දරක බොස් එක්ක අපේ අලුතෙන් ඔෆිස් එක හදන සයිට් එක බලන්න යන්න සෙට් උනා. බොස් ඩ්‍රයිව් කලේ. මම එහා පැත්තෙ සීට් එකේ හිටියෙ.

අපි දෙන්න කයියක් දාගෙන යනකොට ඉත්තෑවෙක් එක පාරට පාර හරහා දිව්වා. ගිය වේගෙ එක්ක වැදුනා නම් බඩු. බොස් වැඩ කිඩ දාලා බ්‍රේක් පාරක් ගහලා යන්තම් ශේප් කර ගත්තා.

මගේ ඉතිං දැන් වගේ තමා ඒ දවස්වලත් කට හරි නෑ. මම ඉතිං ඉත්තෑවගෙ සනුහරේම ඇමතුවා. අම්මා මුත්තගෙ ඉඳලම. (ඔව් ඉතිං ගොංපාට් තමා ඉත්තෑවට තේරෙන්නෙ නෑ නෙ අපේ කුණුහරුප. ඒ උනාට ඒ තරහ පිටකරගන්න බැන්නා මම)

බොසාට හිනා. මම කියපු හරුප ටික ඔලුවෙ තියන් ඉඳලද කොහෙද ටික වෙලාවක් සද්ද නැතුව ඉඳලා බොසා මගෙන් ඇහුවා.

“ඒ ඇත්තටම සුරන්. ඉත්තෑවො කොහොමද දන්නෙ නෑ නෙ ඒ වැඩේ කරන්නෙ” කටු ඇනෙනො ඇති නේ? අමාරු ඇති නේ”

අම්මටසිරි ඒක ඇහුවම තමා මාත් හිතන්න ගත්තෙ.

මම – “ඔව් නේ පව් හැබැයි උන්. කෝකටත් අපි ඉන්ටර්නෙට් එකේ බලමු කියලා”

මම මගේ ටැබ් එකෙන් සර්ච් කලා. කොහෙන් කොහොමහරි ඒ වෙලාවෙම වගේ අපි ඔෆිස් එක හදන සයිට් එක ගාවට ආවා.

අපි එතනට එද්දිත් බිල්ඩිම ඩිසයින් කරන එක්කෙනත් එතනට ඇවිත් තිබුනේ. එයා ලංකාවෙ ප්‍රසිද්ධම චරිතයක්.

බිල්ඩිම ගැන පොර අපි දෙන්නට බ්‍රීෆ් කර කර ඉන්න කොට අලුත් අයිඩියා එකක් දීලා අපි දෙන්නට කිව්වා

“මට උදේ පාන්දර එන්න උන නිසා ෆෝන් එක චාජ් කරගන්න බැරි උනා. අපරාදෙ මට නැත්නම් ඒක ගූගල් එකෙන් පෙන්නන්න තිබුනා”

එහෙම කිව්වම මාත් පොර වගේ මගේ ටැබ් එක දුන්නා “ආ මේකෙන් ගූගල් ගිහින් පෙන්නන්න” කියලා

මට ඇත්තටම අමතක උනා ඉත්තෑවා ගැන සර්ච් කරපු එක

පොර ටැබ් එක අරන් අන්ලොක් කරලා මගේ දිහා බැලපු බැල්ම මට මැරෙනකන් අමතක වෙන්නෙ නෑ! අම්මපා!

මට පොලොවෙ පස් කන්න හිතුනා!

පොර මගේ දිහා බැලුවෙ ” ඉද්ද්ද්දකින් ගස් ල#* අසහනෙද බං උබට. උබ මේවද බලන්නෙ ” වගේ බැල්මකින්

මට ඉතිං හෙනම අවුල්! මොනව කරන්නද!

හැබැයි එදා ඉගෙන ගත්ත පාඩම මට කවදාවත් අමතක වෙන්නෙ නෑ!

අත්හරින්න බැරි අත්හැරීම

උපන්දිනේට විෂ් කරන්න පරණ යාලුවෙක් කෝල් එකක් දුන්නා. ආගිය විස්තර කතා කරද්දි පොර කියනවා.

” මේ දවස්වල පට්ට මහන්සියි බං. හැමදාම ඔෆිස් ඉවරවෙලා මහ ගෙදර යනවා. තාත්තා ලෙඩ වෙලා බං හොඳටම. මම හැමදාම යනවා මහ ගෙදර. (යාලුවගෙ ගෙදර ඉඳලා මහ ගෙදරට 100කි.මි විතර තියෙනවා)

“මට පට්ට දුකයි බං තාත්තව දැක්කම දැන්. උබ දන්නවනෙ තාත්තා හිටපු හැටි.” (මට හොඳට මතකයි අංකල්ව. ඒ කාලෙ සිංහයා වගේ. පට්ටම පර්සැනැලිටි එකක් තිබුනෙ)

ඒ දෙන්නා දැන් වයසට යන එක දැක්කම මට පට්ට අවුල් බං

පුතාගෙ සිතුවිලි!

හිටියා ඇතෙක් මුලු කැලයක් හොල්ලගෙන
තෙදැස තිබුනි මුලු කැලයක් දණ නවන
ගත වැහැරිලා ඇතත් හිත තවමත් තරුණ
නැවතුනි පපුව කඳුලු බිඳක් ඇසට උන

තාත්තාගෙ සිතුවිලි!

පිපෙන මලක් පරවෙයී ඒ ලොව දහම
මටත් පොදුයි ඒකට අවනතයි මම
ප්‍රගුණ කරත් මම නම් මේ අත්හැරුම
කොහොමද පුතේ අත්හරින්නෙ උඹව මම

අස්ථිර ජීවිත

උදේ ජිම් එකට ගියාම චතුරයා එක්ක කයියකට සෙට් උනා.

“උබට ආරංචිද? ඊයේ ඇලවේල්ල පැත්තේ කෙල්ලෙක් කෝච්චියට වැදිලා මැරිලා. අවුරුදු 15යි ලු බං. යාළුවො දෙන්නෙකුත් ඉඳලා, උන් දෙන්නා දුවලා”

අවුරුදු 15යි කියන්නේ තාම ජීවිතේ පටන් අරගෙනත් නෑ. පව්!

ඒ සිද්දිය එක්කම මට මහකණුමුල්ලේ වජිර හාමුදුරුවෝ ලියපු වේරලියද්ද මහත්තය කියන “පෙරුම් පුරාගෙන ආ සංසාරේ” සින්දුව මතක් උනා. හැබැයි මම දන්නා තරමින් එකේ තියෙන්නේ කෝච්චියට පැනලා සිය දිවි හානි කරගත්ත ගැහැණු ළමයෙක් ගැන කතාවක්. මෙතන වෙලා තියෙන්නේ ඇක්සිඩන්ට් එකක්. ඒ සිංදුවේ ඔලුවට වදිනම කෑල්ල තමා
“කාටද රිදුනේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නතර උනේ”

උදෙන්ම අහපු නිව්ස් එක මේක නිසා ටිකක් ඔලුව අවුලෙන් හිටියේ. ජිම් එකෙන් පස්සේ ඔෆිස් ආවාම. HR මැනේජර් ෆයිල් එකක් උස්සන් ඇවිත් කිව්වා

“සුරන් මහත්තයා ෆැක්ට්‍රි එකේ වැඩ කරන හෙල්පර්ළමයෙක්ගේ නංගි කෝච්චියට වැදිලා මැරිලා” කියලා

ඒ මළගෙදරට අදාලව අපේ ඔෆිස් එකෙන් ලැබෙන්න තියෙන දේවල් වලට මම අපෘවල් එක දීලා මම මළගෙදරටත් සහභාගී උනා

එක එක අය එක එක කතා කියන්නේ

“වයස අවුරුදු පහළව උනාට ක්ලාස් කට් කරලා බෝයි ෆ්‍රෙන්ඩ් ගේ බර්ත්ඩේ පාටි එකට ගිහින්.

තව එක්කෙනෙක් කියනවා

“බියරුත් බීල ඉඳලා තියෙන්නේ”

තව එක්කෙනෙක් කියනවා

“ක්ලාස් යන්න පරක්කු වෙලා දුවලා යද්දී මෙහෙම වෙලා තියෙන්නේ”

තව කියනවා

“කෝච්චිය දැක දැක සෙල්ෆි ගහලා”

කව්රු මොන කතා කිව්වත් වෙච්ච හරිම දේ දන්නේ ඒ ළමය විතරයි.

අන්තිමට උනේ ඒ පවුලේ උදවියට පව්ලේ කෙනෙක් නැති වෙච්ච එක!

තාත්තාගේ සිතුවිලි

කුසයේ නොදැරුවත් උබේ බර මා දැරුවා
කන්දක් උසට හීන ගොඩක් මම දුටුවා
කොහෙවත් ඉඳන් මේ වේගෙන් ආ මරුවා
මා දුටු හීන එක සැනකින් සුන් කෙරුවා

අම්මාගේ සිතුවිලි

ලෝකය විඳින්නට මම ඉනිමං තැනුවා
විඳි දුක මට සැපයි හැමදාමත් සිතුවා
මරුවෙනි දුව දියන් උබ හට මා කැඳවා
රිදුනද දුවේ මට දුක වාවනු බැරුවා

අක්කාගේ සිතුවිලි

ලෝකය දකින්නට මට දැන් පිං නැතුවා
උබ එය ජය ගනියි හැමදා මං හිතුවා
උබ ගැන සිත සිතා මං කරගැට කැඩුවා
නිසසල උබදිහා බැල්මට මම පව් කෙරුවා

මියගිය දුවගේ සිතුවිලි

අවසන් හුස්ම හෙලුවට මම නිහඬ වෙලා
හිතින් කඳුළු වැටුනා හැම මතක් වෙලා
මව්පිය කඳුළු හෙලවලා ලොකු පවක් කළා
යන්නට අවසරයි දැන්නම් මට සමාවෙලා

-සුරන්-

යශෝධරා…

නික්මුනා උබ

නොසිතු විලසින්

මගේ නිදි පැදුරට හොරා……

මියැදුනා මගේ

හදේ හැඟුමන්

හැඟුම් තදටම පෙලා …….

උනත් උබ බුදු

ලොවක් දිනමින්

තුන් ලොවක් අද සනහලා……

මගේ ලොව නම්

ඇසුරු සැනකින්

සදහටම අළු වී ගියා……

පෙරුම් පිරුවලු

කල්ප ගාණක් කවදා හෝ

බුදු වෙයි සිතා…..

නොකීවට මම

උබේ සිහිනෙට

මගේ දිවියත් කැපකලා …..

උබව පමණක්

අගය කරමින්

සැවොම අද ඔබ පැසසුවා …

බලා සැනසෙමි

සතුටු වෙමි අද

මමය හිමියෙනි යශෝධරා….

ජීවිතේ සාධාරණ නෑ බං

අට පාස් නැති ඇමති
සඟ දාලා ප්‍රාඩෝ එකේ යද්දී
උපාධි ගහල
ගමේ ඉස්කෝලේ
උගන්වන සෝමේ අයියා
කහ ගැහිච්ච
සුදු කමිසේ ඇඳන්
බස් හෝල්ට් එකේ හිටියා
කොහොමත් බං
අව්වට මට්ටු වෙලා
වැස්සට ඔට්ටු වෙලා
හැදෙන එළවලු
විකුණන මැස්ස උඩ
පුස් වලින් හැදුන
හතු ටික ලස්සනට
සීල් කරලා තියෙන්නේ
ජීවිතේ සාධාරණ නෑ බං

ලේ ඝනයි වතුරට වඩා

ලේ ඝනයි බං වතුරට වඩා

මගේ එකාලට
බොක්කෙන්ම
ලියමි……..

විරුද්ධ උනත් මට
මුළු ලෝකයක්
හිට ගනී
මගෙ දෙපැත්තෙන්….

ඉවසාගෙන මම
කරපු ගොංකම්
පෑ සෙනෙහෙ
ආදරෙන්…..

වැහි අස්සේ
පාලම් හදන්
ඉඩ දුන්නා
යන්න බැරි
තැන් වහන්……

ගස් ගල් පවා
හොල්ලමින්
අත්වාරු දුනි
නැගිටින්න
මට උන් තැනින්…

මගේ හැටි පිළිගමින්
ඉගැන්නුවා මට
ලොකු පාඩමක්
නිදසුනකින් ……
ලේ ඝනයි වතුරට වඩා

-සුරන්-

මම ලියපු පළවෙනි රැප් සිංදුව

Chorus
මම ආස පාරේ – යන්න මට ඕනේ
මට ඕන තාලේ – ගයන්නට ආයේ
ලියන්නට ඕනේ – ජීවිතේ මාගේ
නොමැකෙන්නට ආයේ – මේ සංසාරේ

මගේ නම සාගල
ගම මොණරාගල
හවසට සීතල
ගැහුවේම රා කල

එපා මට පන්සිල්
දීපන් ඩන්හිල්
මේවනෙ පේන් කිල්
ලාවට දැන් චිල්

නෑ මට පෝක්
සතේටම බ්‍රෝක්
බට් නැව් ටෝක්
ලයිෆ් එක ශෝක්

මම ආස පාරේ – යන්න මට ඕනේ
මට ඕන තාලේ – ගයන්නට ආයේ
ලියන්නට ඕනේ – ජීවිතේ මාගේ
නොමැකෙන්නට ආයේ – මේ සංසාරේ

උබ නම් බොක්ක
වගේ බෙංගාල බොක්ක
කළඹලා මේ හක්ක
ඇඹරුව මගේ බොක්ක

ඉඳගෙන එකටම
මොළයට විදලම
බටරුත් නැතුවම
ඇරියලු සැරටම

ගන්නට බඩු
සල්ලි නෑ නේ මදු
මුන් ගහලම බදු
හිඳිලා මම සුදු

මම ආස පාරේ – යන්න මට ඕනේ
මට ඕන තාලේ – ගයන්නට ආයේ
ලියන්නට ඕනේ – ජීවිතේ මාගේ
නොමැකෙන්නට ආයේ – මේ සංසාරේ

වැඳගෙන ඇවිදින්
ණයටත් ඉල්ලන්
ෆෝන් දැන් ඕෆ් බන්
මම ෆුල් හොල්මන්

ගිහිල්ලා පන්සල්
රැක්කට පන්සිල්
බොක්කෙම කම්සිල්
සමනගේ බොරු හිල්

හවසට හන්ටින්ග්
උදේට ජම්පින්ග්
දවල්ට ස්ලීපින්ග්
මිනිහට ෂූටින්ග්

දීලම පුම්ක
යන්නේ නෑලු බොක
ඒ නිසා බොක්ක
දෙන්න එපා පුම්ක

මම ආස පාරේ – යන්න මට ඕනේ
මට ඕන තාලේ – ගයන්නට ආයේ
ලියන්නට ඕනේ – ජීවිතේ මාගේ
නොමැකෙන්නට ආයේ – මේ සංසාරේ

මදුරු පැටියාගෙ ලියුම

තුරුල් කරගෙන

මුහුණ සිඹ අද

ගිහින් එන්නම්

කියල ගිය ඔබ….

හවස් වන විට

නැති නිසාවට

අමුතු හැඟුමක්

ඇති උනා මට…..

විපරමක් කල

බැලු විටක මම

දුටුවා ඔබගේ

නිසල දේහය……

ටීවි එක ළඟ

ගුලි වෙලා ඔබ

කූඹි රංචුව

වටවෙලා ඇත….

මියැදිලා ඔබ

බිමට වැටුනම

කඩන් වැටුනේ

අපේ ලෝකය…..

කූඹි රංචුව

උබට විද්දට

රිදුම දැනුනේ

මගේ පපුවට…

සෙනෙහසෙන් ඔබ

තැනුව ලස්සන

පවුලෙ බර දැන්

මට පැටවි ඇත…

ඉගෙන ගන්නට

ගොඩක් දේ ඇත

නැතුව ඔබ ළඟ

හිස්වෙලා හිත….

නිසල ගත ළඟ

සසල මගෙ හිත

හොයනවා ඔබෙ

මිහිරි මතකය……

නැවත ඔබගේ

රුව දකින්නට

වරම් නැත මට

පෙට්ටියත් දැන්

සීල් කර ඇත….

දුප්පත් තාත්තාගෙ ලියුම

බෙල්ල කැපුවා
වගේ කැපුව
ණය වාරිකේ…..
බටර් නැතුවම
සැරට ඇරපු
බදු වාරිකේ…….
කමක් නැහැ මට
දුකක් නෑ තව
හුරුයි ජීවිතේ…..
ඇති ලොකුම දුක
දුක අහන් හිඳි
ගල් බෝතලේ…
මගෙන් ඈතට
ගෙන ගියා මේ
උරිම කැද්දමනේ…….

පින්සලක් ඇති
පාට ළඟ නැති
පාලු චිත්‍ර පොතේ…..
සැකිලි ඇන්දෙමි
උබව තනමින්
පාට නැතුව පුතේ….
රුවක් මතකයි
ඈත දිරනවා
අඳින් නැතුව පුතේ…
උබව අඳින්නද
එයලා අඳින්නද
අසරණයි මගෙ පුතේ….

පාර නොදනී
අරුත සොයනෙමි
මේ හිස් ජීවිතේ….
හුස්ම වැටුනට
නැවතිලා ඇත
මම තැනක පුතේ…
දිනක් එයි තව
තෝරා ගන්නට
මමද නැත්නම්
උබේ චිත්‍රෙද පුතේ…
වීසි කරපන්
මාව ගලවලා
ඇඳපන් චිත්‍රෙ උබේ!

ප.ලි
අරක්කු බොන එක කිසිම විදියකට මම සාධාරණීකරණය කරන්නෙ නෑ. ඒත් අපේ තියෙන සමාජෙට අනුව අපේ තාත්තාලාගෙ පරම්පරාව එයාලගෙ හැඟීම් ගොඩක් අනික් අය එක්ක බෙදා ගත්තෙ නෑ. එයාලා හිතුවෙ ඒක පිරිමිකමට අඩුවක් කියලා ඒ දුක, ඒ හැගීම් පිට කලේ අරක්කු බෝතලේට.

ජීවන ප්‍රශ්නවලින් මිරිකිලා තෙරපිලා ඉන්න තැනකදි එයාලාට එයාලගෙ දෙමව්පියොන්ට සලකන්න තෝරනවද? ළමයින්ට සලකන්න බලනවද? කියන ප්‍රශ්නෙට මූණ දෙන්න වෙනවා. ඒක උත්තර නැති අමුතුම ප්‍රශ්නයක්. “රුවක් මතකයි ඈත දිරනවා” කිව්වෙ දෙමව්පියො ගැන.
මේ කතාවෙදි මේ තාත්තා ගන්නෙ තීරණ තමයි එයාගෙ ළමයින්ට සලකන්න යන එක. හැබැයි එයා දන්නවා ඒක කරපු එක වැරදියි! එයා ඒක ගැන සතුටු නෑ. ඒක තමයි අන්තිමට කියන්නෙ

“පුතේ උබටත් එක දවසක ඔය තීරණය ගන්න ඒවි. ඒ දවසට උබ මාව අමතක කරලා උබේ ළමයි ගැන හිතපන්..උබ ඉස්සරහට පලයන්”

-සුරන්-