තව එක දවසක් ජීවත් උනා නම්……

ගිහානි කියන්නෙ මගෙ පන්තියට 2017දී ආපු ළමයෙක්…..ජීවිතේ ගොඩක් ප්‍රශ්න වලට මූණ දීලා තැලිලා පොඩිඋනු ළමයෙක්….

හැමදාම නැතත් මට ඉඳලා හිටලා හරි මැසේජ් එකක් දාලා “සර් කොහොමද ජීවිතේ…හොඳින් ඉන්නවා නේද” කියලා අහලා එයාගේ ජීවිතේත් මොනවහරි අලුත් දෙයක් උනානම් ඒකත් මාත් එක්ක කියනවා….කොහොම උනත් අපි දෙන්නගෙ සංවාද අන්තිමට ඉවර වෙන්නෙ….
“තාම exam කලේ නෑ නේද කියලා” මගෙන් බැනුම් අහලා…..

මාසයක් විතර ගිහානිගෙන් කිසිම සද්දයක් තිබුනෙ නැති නිසා මම නිකමට වගේ මැසේජ් එකක් දාලා ඇහුවා කොහොමද ජීවිතේ කියලා….

“අනේ සර්…මට ගොඩක් ප්‍රශ්න ආවා….මට සර්ව හම්බවෙලා කතා කරන්න ඕන කමක් තිබුනා… දැන් සති දෙකකට කලින් අපේ තාත්තා නැති උනා සර්….කැන්සර් එකක්…අපි දැන ගත්තෙත් මරණ පරීක්ෂණයෙන්…..මම මේ ලෝකෙ තනි උනා සර්”

මම දන්න තරමින් ගිහානිගෙ අම්මා ඉන්නවා… ඒක නිසා මම ඒක අහන්න හදද්දීම ගිහානි මට මෙහෙම කිව්වා….

“මාව අරන් හදා ගත්ත ළමයෙක් සර්”…..

තාත්තා විතරයි මට ආදරෙන් හිටියේ…..දැන් ඒකත් නෑ….. ප්‍රශ්න ගොඩක මම ඉන්නෙ…මට තවත් මේ ගෙදර ඉන්න බෑ සර්…මම රෙන්ට් එකට ගෙයක් අරන් යනවා සර්”

මගේ ඔලුවට නිකන් පොල්ලෙන් ගැහුවා වගේ…මොකක්ද කියන්න ඕන කියලා හිතා ගන්න බැරුව මම ගොළු උනා…කියන්න දෙයක් කල්පනා කරන ගමන් මගේ හිත කිව්වා ෆෝන් එකේ ගැලරියට පලයන් කියලා…. මම ගැලරියට ගිහින් අපි පස්දෙනා ඉන්න (අම්මා, තාත්තා, අයියා,රවී,මම) ෆොටෝ එකක් ඕපන් කලා…
මගේ ඔලුවෙ ඇත්තටම කියනවනම් වැඩ කලේ මම අරන් හදා ගත්ත එකෙක්ද කියන එක…
නෑ නෑ මම තාත්තා වගේ…කියලා මම හිතෙන් සැනසුම් සුසුමක් හෙළුවා….

“සර් ඇයි මුකුත් කියන්නෙ නැත්තෙ…මම සර්ව හම්බ වෙලාම කතා කරන්නම්”

මගේ ඔළුව හොඳටම බර වෙලා හිටියේ….

ජීවිතේ හොඳටම කළුවර වෙලාවක හැවනැල්ල මාව දාලා ගියත් අම්මයි තාත්තායි මාත් එක්ක ඉන්නව කියලා මම දන්නවා….මොන ප්‍රශ්නයක් ඇවිත් මම අතරමං උනත් උඩ බැලුවම මට පාර කියන්න ඒ දෙන්නා ඉන්නවා කියලත් මම දන්නවා…

ඒත් ජීවිතේ කවදහරි ඒ දෙන්න මගේ නෙවෙයි වෙන කෙනෙක්ගෙ කියලා කිව්වොත් මොකද කරන්න ඕන කියලා මම දැනන් හිටියෙ නෑ…මට ඒක දැනගන්න ඕනත් නෑ..

අන්තිමට ගිහානි කියපු කතාව මගේ ඔළුවෙ දෝංකාර දෙන්න ගත්‍තා…

“අනේ සර් තාත්තා තව එක දවසක් ජීවත් උනා නම්”

ඒ කතාව මට එහෙමම කිව්වෙ ගිහානි විතරක් නෙවෙයි….

මගේ යාළුවෙක්ගේ තාත්තා නැතිවුනා මාතර හොස්පිට්ල් එකේදි..ඒ අන්කල් නැති වෙන්න කලින් මගේ යාලුවගෙන් වතුර වීදුරුවක් ඉලල්ලා තිබුනා ..පොර ඒක අරන් එද්දිම තාත්තා නැති වෙලා තිබුනා….පොර අදටත් තාම පසු තැවෙනවා තාත්තාට අන්තිමේදී වතුර වීදුරුවක් දෙන්න බැරි උන එකට

ගිහානිටත් සමහර විට එහෙම ප්‍රශ්නයක්ද දන්නෙ නෑ….සමහරවිට එයාට අර අරන් හදා ගත්ත කතාව තාත්තගෙන්ම අහ ගන්න ඕන කමක් තියෙන්න ඇති….

නැත්නම් හැමදාම තාත්තාට කියන්න ඕන කියල හිතපු කවදාවත් කියන්න බැරි උන මොනවහරි ඇති…..

අපි හැමෝගෙම ජීවිත මෙහෙම තමා…ඕනම දෙයක අගේ තේරෙන්නෙ අපිට ඒක නැති උනාම…තියෙන කාලෙදි අපිට කිසිම අගයක් නෑ….පස්සෙ අපි පසුතැවිලි වෙනවා….

අම්මටයි තාත්තටයි ආදරේ කියන එක කියන්න….ඒ දෙන්නා කොච්චර වටිනවද කියලා කියන්න….සමහරවිට අපි ඕක නොකිය ඉන්නෙ අපි ඔලුවෙන් හදා ගත්ත අහංකාරකම නිසා වෙන්න පුළුවන්…..
ඒත් ජීවතකාලේම පසු තැවිලි වෙනවට වඩා ඒක හොඳයි….පරක්කු වෙන්න එපා….ජීවිතේ කොටයි ❤️❤️

රොටරියේදි මුණගැසුන සොඳුරු මිනිසා ❤️

උදේ 10ට ළමයින්ට පොඩි බ්‍රේක් එකක් දීලා මම පහළ තට්ටුවේ ගුරු කාමරයට ආවෙ තේ එකක් හදාගන්න හිතාගෙන….

රොටරි එකේ තියෙන්නේ අමුතුම සිස්ටම් එකක්…තේ ඕන නම් හදාගෙන බොන්න ඕන…මේ සිස්ටම් එක මට අමුතු උනාට ඒකේ කලින් ඉඳලා හිටපු සර්ලා ඒකට හුරු වෙලා තිබුනේ…

බ්‍රේක් එකක් දුන්නත් ඉතිං අඳුරන කව්රුත් කතා කරන්නවත් නැති නිසා තේක බොන ගමන් ෆෝන් එක ඔබ ඔබ ඉන්න එක තමා මම කරන්නෙ…

“මට සර්ව හොඳට දැකලා පුරුදුයි”
මම ඔලුව උස්සලා බැලුවා…මට ඉස්සරහින් හිටිය තරුණ සර් කෙනෙක් මට කිව්වා…
මම හීනියට පොඩි හිනාවක් දාලා ඇහුවා

“කොහේදිද?”

“සර් ගේ පෝස්ටර් වල වෙන්න ඇති මයෙ හිතේ”

මම හිනා වෙලා කිව්වා “වෙන්න බෑ…මගේ පෝස්ටර් කොහෙවත් නෑ…මම ඒලෙවල් ක්ලාස් කරන්නෙ නෑ පුතා”

“එහෙනම් වෙන මතකයක් වෙන්න ඇති සර්..,සර් මොනවද උගන්වන්නෙ”

මම ඉතින් ඊට පස්සෙ මම උගන්වන සබ්ජෙක්ට්ස් ගැන කිව්ව…

“මාත් මොරටුව කැම්පස් එකෙන් මිකැනිකල් එන්ජිනියරින් ඩිග්‍රියක් කලේ සර්….අපේ බැච් එකෙත් ගොඩ දෙනෙක් සිමා කලා…අපි ඕවා දන්නෙ නෑ නෙ සර්.අනික ඕවා කරන්න අපිට සල්ලිත් නෑ…මම ඉගෙන ගත්තේ ඇඹිලිපිටියේ…..ඒ කාලේ කොහොමහරි හිතුවෙ කැම්පස් යන්න විතරයි…ඩිග්‍රිය ඉවරවෙලා ජොබ් එකක් පටන් ගත්තා…මට ඒක හරි ගියේ නෑ සර්…ඒකාලෙ ඉඳන් මම ආස කලේ උගන්වන්න….ඒක නිසා ෆුල් ටයිම් ටියුෂන් පටන් ගත්තා….රිස්ක් එකක් තමයි සර්….ජොබ් එක කරන් ගියා නම් අනාගතයක් ශුවර්….ඒත් මම මේකට කැමතියි….යාලුවො ගොඩක් ඩිග්‍රිය අරන් ඕස්ට්‍රේලියා ගියා…එහේ පඩි හොඳයි සර්….ඒත් මම යන්න කැමති නෑ සර්…ගියොත් අම්මා තාත්තා තනි වෙනවා…

ඔයා විතරද පවුලේ ඉන්නෙ?

නෑ සර්..අක්කයි නංගියි ඉන්නවා…ඒත් තාත්තා මාත් එක්ක තමා ගොඩක් ලැදි….මම එහේ ගියොත් එයා තනි වෙනවා…ඕස්ට්‍රේලියා ගියොත් සර් මට හොඳ කාර් එකක් ගන්න පුළුවන් ඉක්මනටම….ඒත් සර් මම ඒකේ කාව දා ගෙන යන්නද? එහෙම වැඩක් නෑ සර්…මට ඕනා එයාලව දා ගෙන යන්න…..

මේ සර් මොනව උගන්වනවාද කියලා මට අහ ගන්න බැරි උනා…ඒ උනාට මට හොඳටම ශුවර් පොර කවදහරි හොඳ තැනකට එනවා…අපි ජීවිතේ ගැන හිතන විදිය ගැන වෙන විදියකට හිතන්න මට පොර ඉගැන්නුවා….ආත්මාර්ථය ගැන හිතන මිනිස්සු අතරේ පරාර්ථය හිතන මිනිස්සු තවම ඉන්නවා කියලත් පොර මට ඉගැන්නුවා….ආයේ මට හමු නොවෙන්න පුළුවන්…ඒවගේ මිනිස්සු තමයි අපේ රටට ඕන ළමයින්ට හිතන විදිය ගැන උගන්වන්න.ඔබට ජයෙන් ජය පුතා ❤️

දෙදරුම………..

 

file-20181102-83635-1jdo9u9

උඹේ උඩඟුකමට නොදෙවැනි
මගේ උඩඟුකම……
උඹ එක අන්තෙකට යද්දී
මම අනිත් අන්තෙට ගියා
අන්තිමේදී
අපි දෙන්නට දෙන්නා
නොදැනීම
දෙපැත්තට උනා
උඹ එක අඩියක් තිබ්බෙත් නෑ
මම එක අඩියක් තිබ්බෙත් නෑ
අමාරුවෙන් ගොඩනගපු
කවදාවත්
නොබිඳෙයි කියලා
හිතපු
අත්තිවාරම
කෑලි පුපුරන්
බිමට වැටුනා  ❤

මහ ගෙදර

දිය සෙවල බැඳිලා ඉරි තැලිලා ගිය බිත්තිය දිහා බලන් මම කල්පනාවට වැටුනා..මහ ගෙදර හොඳටම ගරා වැටිලා…අවුරුදු කීයක් අපිට මේ මහා ගෙදර හෙවන දෙන්න ඇද්ද….

කොච්චර නම් සොඳුරු මතකයන් මේ ගෙදර එක්කම බැඳිලා ඇද්ද….

කාලයක් තිබ්බා අපි පස්දෙනාම එකම කාමරේ නිදා ගත්ත….(අම්මා, තාත්තා, අයියා,රවී,මම)…සමහර දවස් තිබුනා සාලේ මැද මෙට්ට දාගෙන අපි පස්දෙනාම නිදා ගත්ත

ඊට පස්සේ ටික කාලයක් යද්දී අපි තුන්දෙනා එකම කාමරේක නිදා ගත්ත කාලයක් තිබුනා.. අයියට වෙනම ඇඳක් තිබුනා…මමයි රවීයි වෙනම තට්ටු ඇඳක හිටියා….

ඊටත් පස්සේ අයියා වෙනම කාමරේකට ගියා..මමයි රවීයි එක කාමරේක….

ටික කාලෙකින් ඒකත් වෙනස් වෙලා අපි දෙන්නත් කාමර දෙකකට ගිහින් වෙනම හිටියා…..

එත් අද….

තත්වේ හොඳටම වෙනස් වෙලා….මහ ගෙදර දැන් අපි තුන්දෙනාට දැන් නිකන්ම නිකන් නවාතැනක් වෙලා

මම පරණ මතක අස්සේ තනි වෙද්දීම….අම්මා තේකක් අරන් ඇවිත් මගේ මුනට කිස් එකක් දුන්නා….මේ ලෝකේ වෙනස් වෙන්නේ නැති එකම දේකට තියෙන්නේ අම්මගේ තාත්තගේ ආදරේ විතරයි

“පුතා අද නවතිනවා නේද? අද ඉඳලා හෙට උදෙන්ම යන්න…ගොඩ දවසකින් නේ ගෙදර ආවේ”

අනේ බෑ අම්මේ…වැඩ හොඳටම….මම වෙන දවසක එන්නම්…අද ආවේ ඉස්කෝලේ වැඩකට නේ”

“එහෙමහරි වැඩක් වැටෙන එක හොඳයි පුතාට….. එහෙම උනාම පුතාට අපිව බලල යන්න හරි එන්න පුළුවන් නේ”

අම්මා ඒ කියපු වචන මගේ පපුවට ඉඳිකටුවලින් අනිනිව වගේ දැනුනා….. මගේ ඇස් දෙකේ කඳුළු පිරුණේ හිතට දරා ගන්නම බැරි දුකක් ආව නිසා…..

මම මගේ උපරිමයෙන්ම අම්මටයි තාත්තටයි සලකනවා කියල මම දැනන් හිටියා…..මට එදා තේරැනා මම තාම සලකනවා මදියි කියලා….වයසට යනකොට එයාලට ඕන අපේ අවධානය මිසක් සල්ලි නෙවෙයි.ඒ දෙන්නට ඕන අපිත් එක්ක කතා කර කර ඉන්න
….අපේ ගෙවල් වල ඇවිත් ඉන්න කිව්වට තාත්ත කැමති නෑ මහා ගෙදර දාලා එන්න ….එයා කැමති නෑ කොළඹ ඇවිත් හිර වෙලා වගේ ඉන්න….තාත්ත කොහොමත් හිතනවා ඇති එයාල ඇවිත් ඉන්න එක අපිට වදයක් කියලා…..

මට හිතුන ඔක්කොම දමලා ගහල ඇවිත් ආයේ මුල ඉඳන් පටන් ගන්න…

ඒත් මම එහෙම කරන්න දැන් ආපු දුර වැඩියි…..ඔක්කොම දේවල් පටලවාගෙන ජීවිතේ දැන් සංකීර්ණ වෙලා…දැන් අඩියක් පස්සට ගන්නවා කියන්නේ මම පරක්කු වැඩි වෙන්න පුළුවන්

…..කොහොම ජීවිතේ සංකීර්ණ උනත්, ජීවිතේ මොන ප්‍රශ්නේ ආවත් පාර කියන්න අම්මයි තාත්තයි ඉන්නවා කියල මම දන්නවා……එයලා මගෙන් මුකුත් බලාපොරොත්තු වෙන්නෙත් නෑ කියල මම දන්නවා….මගෙන් බලාපොරත්තු වෙනවනම් බලාපොරොත්තු වෙන්නේ මගෙන් පොඩි වෙලාවක් විතරයි…..

ජීවිතේ කියන්නේ සල්ලි නෙවෙයි….සල්ලි කියන්නේ ජීවිතේ නෙවෙයි කියල තේරුම් ගද්දි මම පරක්කු වැඩි උනා

නිදහස් අධ්‍යාපනය

“සර්…
මට ලොකු උදව්වක් කරනවද
නංගි වැඩ කලේ
හන්දියේ ගාමන්ට් එකේ
ඒක ගිය මාසේ වහල
දැන් ජොබ් එකක් නෑ
මිනිහත් දාලා ගිහින්
ළමයි දෙන්නෙයි
දැන් ඉස්කෝලේත් නෑ
ජොබ් එකක් හොයල
දෙනවද සර්?
අපේ එකත් වහනවද සර්?
දැන් වෙනද වගේ ඕටිත් නෑ
ඒක නම් කරන්න එපා සර්
ඉඩම බේර ගෙන
ලෝන් එකක් ගත්තා විතරයි
සර්….. ඇයි සර් කථා නැත්තේ”
මම පොඩ්ඩක් බලන්නම්

විනාඩියකින් කියාපු
පොඩි විස්තරයකට
ඔළුවම පුරවල දාලා
අමුතුම හිස් බවක්……
දැනුනේ මට
ඔවුනට
ලස්සන ජීවිතයක්
නිදහස අධ්‍යාපනය
තවමත් හීනයක් නිසාමද?

පාර කියන තාරකා

ඔක්කොම අඳුරු
වෙලා ගිහින්…..
එලියක් නැති නිසා
හෙවනැල්ලත්
මාව දාලා ගිහින්
පුදුම හිස් ගතියක්
පුංචිම පුංචි
බලාපොරොත්තුවක්
හිතේ තිබුනා නිසා
අහස දිහා බැලුනා
වැහි වලාකුළු
අස්සෙන්
එළිය දෙන්න
තරු දෙකක්
ඇවිත්
මට පාර කිව්වා
ඒ තමා
අම්මයි තාත්තයි

නොසැලකිල්ල

සිරි අංකල් හිටියෙ අපේ ගෙදරට ගෙවල් දෙකක් විතර එහායින්..අසල්වැසියො වුනාට මම අංකල් එක්ක වචන 10-15වත් කතා කරල නැතුව ඇති…උදේට ඉන්නව දැක්කොත් හිනාවෙලා ගුඩ් මෝනින් කියනව ඇරෙන්න වෙන මුකුත්ම කතාවක් වෙලා නෑ….
ඕක තමා ඉතිං කොළඹ ජීවිතේ කියන්නේ…එකාට එකා අඳුරන්නේ නැති බෝඩින් කාරයෝ වගේ….
සෙනසුරාදා හවස මට තදින්ම උණ ගත්තා….ඩෙංගු ළකුණු තිබුන නිසාත් ඩෙංගු ඇන්‍ටිජන් ටෙස්ට් එක කරලා ඒක පොසිටිව් නිසාත් මාව ජයවර්ධනපුර හොස්පිට්ල් එකට ඇඩ්මිට් කලා….
මට ඇදන් හතරකට එහා පැත්තේ සිරි අංකල් ඉන්නවා…මම ගිහින් කතා කලා…

කොහොමද අංකල්?ඇයි ඇඩ්මිට් කලේ?

අනේ පුතේ මට හතිය වගේ…සෙම ඇවිස්සිලා අමාරුයි…තව දවසකින් දෙකකින් ටිකට් කපාවි…

මමත් වැඩි විස්තර කතා නොකර ඉන්න තැනට ආවෙ මට හොඳටම උණ තිබුනා නිසා..එදා රෑ මට උණ නැග්ගා 104ට..කට්ටිය ඇවිත් මට සා‍ත්තු කරද්දි මම යාන්තම් දැක්ක සිරි අංකල් පැත්තකින් මගේ දිහා දුකින් වගේ බලන් ඉන්නවා…

වාට්ටුවටම වාතයක් වෙලා හිටියේ සිරි අංකල් ගේ කැස්ස…ගොඩක් අයට නින්ද යන්නේ නෑ ඒ සද්දෙට….අංකල් ගොඩක් වේදනාවකින් වගේ හිටියෙ…

ඊයෙ උදේ (නොවැ19) 9ට විතර මට නින්ද ගිහින් හිටියේ…මාස්ටර් ගෙ සද්දෙට මම ගැස්සිලා ඇහැරුනා… එයා සිරි අංකල්ගෙ ඇඟට ගොඩ වුනා…

“ඔයාට කී පාරක් කියන්නද? කියන දේ තේරෙන්නෙ නැද්ද?..ගෙදරින් කාට හරි ඇවිත් ළඟ ඉන්න කියන්න…ඔයා ගාව කවුරුමහරි ඉන්න ඕන”

මාව බලාගන්න මගේ ළඟ නවත්තපු ජයතිලකට මම කිව්වා අංකල් ගැන හොඳට ඇහැ ගහන් ඉන්න කියලා…මට ඇඳන් නැගිටගන්නවත් බැරි නිසා මට කරන්න පුලුවන් එකම උදව්ව ඒක කියලා මට හිතුනා…

ඊයේ හවස මම දැක්ක අංකල් දොස්තර ගාවට ගිහින් නිදි පෙති ඉල්ලනවා…දොස්තර හිනාවෙවි කිව්ව නෑ නෑ රෑට දෙන්නම් දැන් යන්න කියලා…
ඊයේ රෑ 8.30ට විතර ආයේ මාස්ටර් කෑ ගහනව
“කෝ දෙන්න ඔයාගෙ ගෙදර නම්බර් එක මම කතා කරලා කියන්නම්…ඇයි ඔයාලට තේරෙන්නෙ නැත්තෙ කියලා”

මට ඕක ඇහුනම මම වයිෆ්ට කෝල් කරලා කිව්වා අංකල්ලගේ ගෙදරට කියන්න කියලා

රෑ 8.45ට විතර මම යාන්තම් වගේ දැක්ක අංකල්ද රෝද පුටුවක තියාගෙන එහා පැත්තට අරන් යනවා…මම හිතුවෙ මොනවහරි චෙක් කරන්න ගෙනියනවා කියලා…
අද උදේ වයිෆ් ආවම කියනවා සිරි අංකල් ඊයෙ රෑ 9.15ට නැති වෙලා කියලා….
මට පුදුම දුකක් එක්ක ලොකු කේන්තියක් ආවා…ගෙදරින් කවුරුමහරි ළඟ හිටියානම් මේක වෙනස් වෙන්න තිබුනා නේද? දැන් මොනව කරන්නද? අනික මම දන්නේ නෑ නේ ඒ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න කියලා මම හිත හදා ගත්ත….මට කරන්න පුලුවන් දේත් මම කලා නේ..
අද උදේ අංකල් ගේ දූ හොස්පිට්ල් එකට ආපු වෙලාවෙ මගේ ගාවට ආවා…
“අනේ බලන්න මල්ලි අපේ තාත්තට වුන දේ”
මම ඉතින් අක්කාට කියන්න ඕනදෙ කිව්ව…මම එහෙම කියද්දි අක්කගේ මූණ ඇඹුල් වෙලා ගියා
“මම යන්නම් මල්ලි බොඩි එක ගන්න තියෙනවා”

මෙච්චර වෙලා තාත්ත තාත්ත කියල ආදරෙන් කතා කරල දැන් “බොඩි” එක වෙලා….

ගිය තැනක පරිස්සමෙන් ඉන්න….

තාත්ත කියල දුන්නු පාඩම්- හෘද සාක්ෂිය

ජීවිතේට ගොඩක් පාඩම් කියලා දුන්න අකුරු තුනක පුදුම වචනයක්..සමහර පාඩම් තාම අපිට තේරෙන්නෙ නැත්තෙ අපි ඒවා තේරුම් ගන්න උත්සාහ කරන්නෙ නැති නිසාද නැත්නම් ඒක තේරෙන්න අපි තාම පරිණත වෙලා නැද්ද කියලා හිතා ගන්න බෑ….

එයාගේ ආදරෙත් ඒ වගේ….අපිට කවදාවත් තේරෙන්නෙ නෑ කොච්චර ආදරෙයිද කියලා….

තාත්තගේ ආදරය අපි අම්මාගේ ආදරය එක්ක සංසන්දනය කරලා හැමතිස්සෙම හිතෙන් තරහා ගන්නවා තාත්තා අපිට ආදරේ නෑ කියලා..අම්මා ආදරය පෙන්නන්න දන්නවා.තාත්තා එහෙම පෙන්වන්නෙ නෑ..

ඒත් මට හිතෙන විදියට ආදරය කියන වචනයේ ඇත්තම තේරුම අපිට ඉගෙන ගන්න පුලුවන් තාත්තාගෙන්….කරන්න පුලුවන් තරම් සේරම කට්ට කාලා අපිව ගොඩ දාන්න බලලා සතයක තරම් දෙයක්වත් අපෙන් බලාපොරොත්තු වෙන්නෙ නෑ….

ඕවා අපිට පොඩි කාලෙදි ඇත්තටම තේරුනේ නෑ….ලොකු වුනාම අපි තේරුම් ගන්න බැලුවෙ නෑ….
අපි ලොකු වැරැද්දක් කළා…අපි හිතුවෙ මේවා තාත්ත කෙනෙකුගේ යුතුකමක්…එහෙමත් නැතනම් අපේ අයිතිවාසිකමක් කියලා….
තාත්තා කියන්නේ ඇත්තටම එක වෙලාවකට මහාමේරු පර්වතය වගේ…වැහි, කුණාටු, ඉඩෝර හැම එකටම මූණ දීලා පොඩ්ඩක්වත් නොසැලී ඉන්නවා…
එක වෙලාවකට මහ මුහුද වගේ…..සැලෙන්නේ නැතුව වෙනස් වෙන්නෙ නැතුව ඉන්න අපුරුව..ඒකනේ කියන්නේ
“තාත්තාගේ ආදරේ….වාගෙයි මහ සාගරෙ”

මේ සිද්ධිය වුනේ අපි පොඩි දවස්වල

තාත්තට වැඩිය සල්ලි තිබුනේ නැති වුනාට ගමේ ඉඩම් ටිකක් තිබුනා..ඒ ඉඩම්වල වෙන මිනිස්සු ගෙවල් හදන් හිටියා… තාත්ත මුකුත් කියන්නෙ නෑ..ඉස්සර අපි තුන් දෙනාටනම් හොඳටම තරහයි ඒකට…ඒ අයට නවතින්න දීලා තියෙන්නෙ සීයා..දැන් එයාලට ඉඩම් අයිති වෙලා…
ඔය අතරේ තව පවුල් දෙකක් විතර හිටියා තාත්තාගෙන් තව පර්චස් 2-3ක් ඉල්ල ඉල්ලා නිකන්. තාත්ත ඒකටනම් කැමති වුනේ නෑ…
ඉතින් ඔය ඉඩම් ඉල්ලපු මිනිස්සු හවසට බිව්වම කුණුහරුප කියලා තාත්තට බැන බැන යන්නෙ..තාත්‍තා නෙවෙයි ගෙදරින් එලියට බැහැලවත් බලන්නෙ…අපි තුන් දෙනා ඔය වෙලාවට නලිය නලිය ඉන්නෙ…ඔහොම බැනලා යන මිනිස්සු ඊට පස්සෙන්දා ඇවිත් තාත්තාගෙන් උදව් ඉල්ලනවා…තාත්තටත් කිසි ගානක් නෑ උදව් කරනවා….

දවසක් ඔහොම බැනලා ගිහිපු මනුස්සයෙක්ගෙ දුවෙක් වස බීලා..මේ මනුස්සයා කෙලින්ම දුවගෙන ආවෙ අපේ ගෙදරට…
“අනේ කීර්ති බාප්පෙ උදව් කරන්න” (ගමේ හැමෝම තාත්තට කතා කලේ කීර්ති බාප්පා කියලා, වයස් බේදයක් නෑ පොඩ් ළමයින්ගේ ඉඳලා වයසක මිනිස්සු ඔක්කොම)

තාත්ත කිසිම වෙනසක් කරන්නේ නැතුව ඉක්මනටම ඉස්පිරිතාලෙට ගෙනිහින් කරන්න පුලුවන් උපරිමයෙන් කරලා උදව් කලා…

මට හොඳට මතකයි එදා තාත්ත ආවම මම ඇහුවා “තාත්තිටත් ලැජ්ජ නෑ..ඇයි ඒ මනුස්සයට උදව් කලේ…මතක නැද්ද බැන බැන ගියපු හැටි”

තාත්ත මගේ දිහා බලලා හිනා වෙලා මෙහෙම කිව්වා

දැන් කාටද ලැජ්ජ නැත්තෙ? මටද නැත්නම් ඒ මනුස්සයටද? පුතේ අපි හැමොටම තියෙනවා හෘද සාක්ෂිය කියලා එකක්…ඒකෙන් බේරෙන්න බෑ කාටවත්…දැන් ඒ මනුස්සයා දුක් වෙනව ඇති මෙහෙම මනුස්සයෙක්ට නේද මම බැන්නෙ කියලා”

ඒ පරිණතකම, ඒ ඉවසීම මට කවදාවත් ගොඩනගා ගන්න බැරි වෙවි..ඒත් ඒ පාඩම මට හැමදාම හැමදාටම වැදගත් වේවි…

බෝඩිමේ ජීවිතේ

රත්තනපිටිය බෝඩිම

ජීවිතේට සුන්දර මතකයන් ගොඩක් එකතු කරපු, අව්‍යාජ යාළුවො ගොඩක් එකතු කරපු නියම තැනක්.
අත්තියා, පන්නා,කැලුමා,ජෙටා,ඇල්ටෝ,හිරියා,ඩෝරා හෙන සෙට් එකක් හිටියා….ඉස්සර අපි ඔක්කොම ලොකු ෆිට් එකකින් හිටියේ..දැන් ඔක්කොම වෙන් වෙලා ගිහින් තැන් තැන්වල.. ඉස්සර එහෙම ෆිට් එකේ ඉන්න ලොකු හේතුවක් උනේ සමීර අයියා…පොර තමා අපේ පොදු හතුරා…මම ඒ විස්තර පස්සේ කියන්නම්.
අද මම කියන්න යන්නේ රත්නා ඇන්ටිගේ කඩේදී වුන සිද්ධියක්… ඇන්ටිගේ කඩේ තිබුනේ අපේ බොඩිමට එහා පැත්තෙ…ඇන්ටි අපේ බෝඩිමේ කොල්ලොන්ට හරිම ආදරෙන් හිටියෙ….කඩේ ඉතුරුවෙලා කුණු වෙන්න යන්න පලතුරු, බනිස්, පාන් ඔක්කොම ඉතිං අපිට තමා හැමදාම නිකන් හම්බවෙන්නෙ…
අපිටත් ඉතිං නිකන් කෑමක් හම්බනවා කියන්නේ රජ මගුල් වගේ….ඔය වගේ කුණු වෙන්න යන කෑමක් ලැබුනත් සෝමාලියාවට පාන් දැම්මා වගේ….ඒ පැත්ත බලල මේ පැත්ත බලද්දි ඉවරයි…

මේ සිද්ධිය වුනේ කැම්පස් එකේ 3 අවුරුද්දෙදි….මම එතකොට ජොබ් එක කලේ s&d එකේ.. ( 3,4 වසරේදී ලෙක්චර්ස් තිබුනේ හවස නිසා අපිට ජොබ් එකක් කරන්න චාන්ස් තිබුනා)…මට ඒ දවස්වල ඔෆිස් එකෙන් ලැප්ටොප් එකක් දීලා තිබුනා…අම්මටසිරි ඒ දවස්වල ලැප්ටොප් එකක් තියෙනවා කියන්නේ පට්ට පොරක්…දැන් කාලේ වගේ නෙවෙයි හැමෝටම ලැප්ටොප් නෑ ඒ දවස්වල….ඉතිං ලැප්ටොප් එකක් අරන් යනවා කියන්නෙ චරිතයක් තමයි….

මම ඉතිං හවස ඔෆීස් ඉවරවෙලා ලැප්ටොප් බෑග් එක දාගෙන බෝඩිමට එන ගමන්….ඈත ඉඳන්ම දැක්ක ඇන්ටිගේ කඩේ ගාව කෙල්ලො දෙතුන් දෙනෙක් ඇන්ටි එක්ක බර කතාවක…ඉතිං මටත් හිතුනා එතනට ගිහින් ඇඩ් එකක් දාලා පොරක් වෙන්න ඕන කියලා….
මාත් ඉතිං ඔෆිස් කිට මරන් පොර සේ එතනට ගියා….
මාව දැක්ක ගමන් ඇන්ටි කියපි…
“අනේ පුතේ ඔයා ආපු එක හොඳයි, මේ කලු ගැහිච්චි කෙසෙල් ඇවරි දෙකක් තියෙනවා…පුතාලා අරන් ගිහින් කන්න…මේක කුණු වුනොත් කොහොමත් හරකට කන්න දාන්න වෙන එක නේ…ඊට වඩා හොඳයි පුතාලා කන එක”

ඇන්ටි එහෙම කියද්දි මට ඉබේම වගේ අර කෙල්ලො දිහා බැලුනා…උන් මූනට මූන බලන් හිනා වෙනවා….නෙදකින් ඔයිට වඩා හොඳයි ඇන්ටි මට පොල්ලකින් ගැහුවනම්….

ඇඩ් එකක් දාන්න ලැප්ටොප් එක අරන් සිංහයා වගේ ගිය මම පූසා වගේ මූණ බෙරි කරන් කුණු කෙහෙල් ඇවරි දෙක අරන් බෝඩිමට ගියා

එදා මෙදා තුර

වෙලාව හවස 5.15
කොල්ලුපිටිය ස්ටේෂමේ පරණ මළකඩ කාපු පුටුවක වාඩි වෙලා තාම මග බලන් ඉන්න මගේ හිත තාම පිළිගන්නෙ නෑ උඹ ආයේ එන්නේ නෑ කියලා….
උඹේ අත් අල්ලගෙන ඉස්සර පඩි පෙළ නැගපු මම අද තනියම නැග්ගා…උඹත් එක්ක ඉස්සර දොඩමළු වෙවී මුහුද දිහා බලන් හිටපු මම අද කඳුළු පුරවන් තනියම බලන් හිටියා….
ඔක්කොම දේවල් වෙනදා වගේ එහෙම්ම වෙනවා…වෙනසකට තියෙන්නෙ උඹ ළඟ නැති එක විතරයි…. ඔව්…
ඒක තමා ලොකුම වෙනස..ජීවිතේ තියෙන්නෙ විඳින්න කියලා උගන්වපු උඹ අද මට මහමෙරකට විඳවන්න දුක් දුන්නා…
අන්තිම දවසේ උඹේ කලු ගැහිලා සුදුමැලි වෙලා ගිය මූණ තව එක පාරක් ඉම්බින්න තිබ්බනම්…..
ඇත්තමයි….
පපුවෙ අත් දෙක බැඳන් සුදු ඇඳුමක් ඉන්න උඹව මම දැක්කේ දෙව් දුවක් වගේ….
උඹව එහෙම ඉන්නව දැක්කම එක පාරටම කැඩිල ගිය අපේ හීන ලෝකේ කෑලි මම තාම එකතු කරනවා කවදහරි එකතු කරන්න පුලුවන් වේවි කියලා….
දැන් හැමෝම කියන්නෙ වෙච්ච දේ උනා උඹව අමතක කරලා අලුත්ම පිටුවක් පෙරලන්න කියලා….
ඒ කවුරුත් දන්නේ නෑ මගේ පොතේ තිබුන එකම ලස්සන පිටුව උඹ කියලා…
උඹ කොහේ ගියත් හොඳින් ඉන්නවා කියලා මම දන්නව….
පුලුවන් නම් මට එකම එක උදව්වක් කරපන්
හීනෙන්වත් ඇවිත් කියලා පලයන් උඹ නැතිව මම ජීවිතේ ඉස්සරහට ගෙනි යන්නෙ කියලා….
අර කතාව ඇත්ත….
උඹේ ආදරෙත් ඇත්තටම හුළඟක් වගේ…. මට හොඳටම දැනෙනවා තේරෙනවා….
ඒත් කවදාවත් පේන්නෙ නෑ……

ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ළයේ

හීයේ වේගේන් අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ

ඒත් ඉතින් දැන් සොඳුරිය ඔබ නැති ඇයි මේ ලොව මා තනිව ගියේ

ආයේ දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ