ගුරුවරුන්ගෙ ඇඳුම

සති දෙක තුනකට කලින් මම හයිවේ එකේ ගෙදර එන ගමන් ටිකක් මහන්සි දැනුන නිසා තේ එකක් බොන්න වැලිපැන්නේ සර්විස් ඒරියා නැවැත්තුව. මම ගොඩක් වෙලාවට හයිවේ එකේ යන්නේ සරම ගහලා,ආම් කට් ස්කිනී එකක් ඇඳලා.මම ඒකට කැමති ඒක මට පහසු නිසා. ඉතින් ආම් කට් එක ගැහුවම මගේ අත්දෙකේ තියන ටැටූස් දෙකයි පපුවේ තියෙන ටැටූ එකයි පේනවා.

මම ඉතින් මගේ පාඩුවේ තේ එක බොන කොට දැක්කා ටිකක් ඈතින් තරුණ පිරිමි ළමයෙක් තව මැදි වයසේ ජෝඩුවක් එක්ක මගේ පැත්තට එනවා.

ටික වෙලාවකින් ඒ ළමයා මගේ ගාවට ඇවිත්. ඒ ලමයව අඳුන්වල දුන්නා. 2021 මගේ පන්තියට ආපු ළමයෙක්‌. දැන් ඉතිං ඔන්ලයින් නිසා මූණු මතක නෑ. ඒ ළමයා එහෙම කතා කර ඉඳලා එයාගේ තාත්තාට මාව අඳුන්වලා දුන්නා

“Thaththa this is my econ lecturer” කියල කිව්වම ඒ තාත්තා මගේ යට ඉඳලා උඩටයි උඩ ඉඳලා යටටයි දෙතුන් පාරක් බැලුවා! මොන රස්තියාදුකාරයෙක් වගේද කියන ලුක් එකක් දුන්නේ. මාත් එක්ක කතා කරන්න ගත්තම නම් ඒක වෙනස් වෙන්න ඇති කියල මට හිතුනා (හැබැයි ඉතින් ඒක වෙනස් උනත් නැතත් මට අදාළ නෑ, මට ඒක වෙනස් කරන්න ඕනත් නෑ, අපේ අම්මා උනත් මම ඔහොම ගෙදරින් එලියට බහිනකොට කියනවා ඔහොම යන්න එපා වැදගත් විදියට යන්න කියලා. ඉතින් අම්මත් එහෙම කියනවනම් තව මොන කතාද)

මට මේකෙන් කියන්න ඕන උනේ අපේ සමහර මිනිස්සු හිතන විදිය ගැන.

කරන රස්සාවේ ගෞරවය ආරක්ෂා කරන් තමන්ගේ රස්සාව හරියට කරන එකයි වෙන්න ඕන

එහෙම නැතුව එයා අඳින්නේ මොනාද, පච්ච ගහලද, රැවුල වවලද, බැඳලද, දික්කාසද වෙලාද, සමලිංගිකද, පාවිච්චි කරන වාහනේ මොකක්ද ඒවා බලන්න ඕන නෑ වැඩේ හරියට කරනවා නම් එච්චරයි!

ලංකාවේ දේශපාලනයෙන් උදාහරණ ගන්නම්. නම් කියන්න ඕන නෑ, රැවුල වැවෙන්නේ නැත්නම් ජනාධිපතිට සුදුසු නෑ වැඩක් නෑ, කොච්චර හොඳ නායකයෙක් උනත් සමලිංගික නම් වැඩක් නෑ!! ඔන්න ඔය විදියට තමා හිතන්නේ! ප්‍රතිපත්ති, අත්දැකීම්, චරිතේ නෙවෙයි බලන්නේ බාහිර පෙනුම.

බාහිර පෙනුම වැදගත් නෑ කියලා මම කියන්නේ නෑ,.මේක හැමෝටම අමාරු කාලයක්. ඇඳුම් පැළඳුම් හරි ගණන්. පහසු ඇඳුමක් කියන්නේ නයිටියක් අඳින්න නෙවෙයි නේ! සුදුසු ඇඳුමක්! පහසු ඇඳුම කියන එක තේරුම් ගන්න ගුරුවරුන්ට මොළයක් තියෙනවා!

ගුරුවුරතිය කියන්නේ ලෝකේ තියෙන උතුම්ම රස්සාවක්! ජඩ මාධ්‍ය වලින් කරන අනවශ්‍ය ප්‍රචාරණ නිසා මේ ගුරුවුර්තියේ තියන ගෞරවය නැති වෙනවා.ඒකෙන් වැරදි සිග්නල් එකක් ළමයින්ගේ ඔලුවටත් යනවා ගුරුවරු ගැන

Teachers are like candles, they consume themselves to light the way for others

අපිට පුළුවන් නම් තේරුම් ගන්න වැදගත් වෙන්නේ රස්සාව හරියට කරන එක මිසක් බාහිර පෙනුමවත්, අනිත් දේකුත් නෙවෙයි කියන දවසට අපේ රට තවත් අඩියක් ඉස්සරහට යාවි!

ජීවිතේ අමාරුවෙන් ඉගෙනගත්ත පාඩම්- තමන් තමන්වම පිළිගැනීම

ඉස්සර කැම්පස් එකේ දෙවෙනි අවුරුද්ද වෙනකම්ම මගේ කොණ්ඩෙ තිබුනා. කොණ්ඩෙ යන්න පටන් ගත්තෙ දෙවෙනි අවුරුද්ද අන්තිමේදී.

කොණ්ඩෙ යන්න පටන් ගත්ත එක මට මාරම මානසික වදයක් උනා. මම අම්බානකම වැටුනා මානසිකව. හැමදාම හවස ඕක ගැන කල්පනා කරන්න ගත්තා. වැඩියෙන්ම අවුල් ගියේ යාලුවො එක එක නම් කියන්න ගත්තම.

අඩෝ තට්ටයෙක් වෙන්න යන්නෙ, වටේ කෙස් මැද හිස්, ඔය වගේ ඒවා කියද්දි ඒ දවස්වල පට්ටම අවුල්. මම තනියම අඬලත් තියෙනව මේ කේස් එක නිසාම.

දෙවෙනි අවුරුද්ද ඉවර වෙලා ඉන්ටර්න්ශිප් පටන් ගත්ත නිසා මගේ අතට සල්ලි ටිකක් ලැබුනා. එතකොට මගේ පඩිය රුපියල් දහනවදාහයි. ඒකෙන් රුපියල් දහදාහක්ම ගියේ කොණ්ඩෙ බෙහෙත් වලට. මම එච්චරම ප්‍රෙෂර් එකේ හිටියේ.

බෙහෙත් පාවිච්චි කරනකම් කොණ්ඩෙ යන එක නැවතුනා. බෙහෙත් නවත්තපු ගමන් ආයෙම යන්න පටන් ගත්තා. මට ටික ටික එතකොට තේරුම් ගියා මේක හරියන සෙල්ලමක් නෙවෙයි කියලා. හම්බකරන පඩියෙන් කිසි ඉතුරුවක් නෑ.

ආයෙම ඉතිං ඩිප්‍රෙස්ඩ්. මට තිබුන ලොකුම ප්‍රශ්නෙ උනේ අනිත් අය මට හිනා වෙන එක. එක එක නම් කියන එක. ටික දවසක් යද්දි මට තේරුම් ගියා උන් හිනා වෙන එක, උන් නම් හදන එක මට වෙනස් කරන්න බෑ කියලා.

ඔහොම හිතලා එක දවසක් මම ෆුල් තට්ටෙ ගෑවා. එදා යාලුවො අම්බානක නෝන්ඩි කලා, තට්ටයා කියලා විහිලු කලා, නාකියා වගේ කිව්වා. හැබැයි මම එදා උදේ හිතාගෙන ගියේ උන් කියන ඒවා මේ කනෙන් අහලා අනිත් කනෙන් පිට කරනවා කියලා. එහෙම හිතාගෙන ගියාට බොරු කියන්න ඕන නෑ ටිකක් විතර වැටුනා..ඒත් මම ආයෙ කොණ්ඩෙ වවන්න හිතුවෙ නෑ. දිගටම තට්ටෙ ගෑවා. උන් කොච්චර එක එක ජාති කිව්වත් මට කිසිම ගාණක් නැති උනා.

එතකොට තමා මට තේරුම් ගියේ මේ ඔක්කොම උනේ මම මාවම මගේ ජීවිතේට පිළිගත්ත නිසා කියලා. ඒක මම ජීවිතේ ඉගෙන ගත්ත හොඳම පාඩමක්. මම එහෙම නොකර හිටියනම් සමහරවිට මට මානසික ලෙඩක් හැදෙන්න ඉඩ තිබුනා කොන්ඩෙ ප්‍රශ්න නිසා.

අපි ජීවිතේ මොනව කළත් මිනිස්සු මොනවමහරි කියනවා. ඒක නවත්තන්න අපිට බෑ. ඒ මොනව උනත් අන්තිමට තමන්‍ට තමන් විතරයි ඉතුරු වෙන්නෙ. ඒක නිසා කොහොමහරි තමන් තමන්වම පිළිගන්න බලන්න. ඒක පට්ටම පාඩමක්

ප.ලි:

දැන් මට ඕන නම් කොණ්ඩෙ හිටවන්න වත්කමක් තියෙනවා. ඒත් මම ඒක කරන්නෙ නෑ. මම මාවම මේ විදියට පිලිගෙන ඉවරයි දැන්. මට දැන් තට්ටයා කිව්වට කිසි ගාණක් නෑ මම ඒ පාඩම ඉගෙනගත්ත නිසා. ඒත් තව කාටහරි කොණ්ඩෙ ‍යන එකට හිනා වෙලා විහිලු කරන්න යන්න එපා. ඒක වෙන කෙනා විතරයි ඒකෙ වේදනාව දන්නෙ

දෙවියොන්ට ප්‍රශ්න

එක්දාස් පන්සීයෙ

පූජා වට්ටිය

අරන් තප්පර තුනෙන්

මට ආයෙම

දීපු කපුවට පුලුවන්ද

කප්පරක් දිග

මගේ කන්නලව්ව

දෙවියොන්ට කියන්න????

වැරදිලා හරි ඇහුනොත්

දෙවියොන්ට පුලුවන්ද

තුන්දාහෙ පූජාවට්ටිය

පුදපු එකාට කලින්

මගේ බලාපොරොත්තු

ඉටු කරන්න?????

සුදු ඇඳන් ආපු

උන් අස්සෙ

මම ඇන්දෙ කලු හන්දා

ගෞරවයනෑ කියලා

මම කියපු දේ

ඇහෙන්නෙම

නැති වෙයිද?????

ජීවිතෙ කෙලවෙච්ච

කෙලවිල්ල කරගත්තෙ

මම කියලා

ඉතුරුටිකත්

කෙලවෙන්නම

ඉඩදීලා දෙවියො

වෙනද වගේම

නිකම්ම බලන් ඉඳීවිද???

සිරගත කල නොකල සිතුවිලි 2-එ කතාව

එකට

ගමනක් යන්න හිතන්න ඇති

එකතැනකදි

ජීවිතය අත හැරෙන්න ඇති

එතනදි

හිත් කඩන් වැටෙන්න ඇති

එහෙම

ගලපු කඳුලු හයිය දෙන්න ඇති

එනිසා

තාම ජීවිතේ ගලනවා ඇති

ලංකාවෙ හැලොවීන්

ලංකාවේ හැලොවීන්

මහසෝනා : මොකටද අයිසේ මේ එක පාර මීටිමක් කෝල් කලේ??? ලාවට චිල් එකක් දාලා නිදා ගන්න හැදුවා විතරයි. මොනා හරි හදිසි කෙස් එකක්ද?? ලංකාවේ උන්ගේ ඇඩ්මිෂන් වල කේස්ද ආයෙමත්? වේටිනග් ලිස්ට් එකේ ඉන්න අර දුලංග, තරිඳු, සඳුනි, චානක, හසිනි, තෙජානු, තිසල්, දැන්ම මෙහෙ ගෙන්න ගන්න එපා! උන් ජීවත් වෙලා ඉන්නකම් රට කෑවා, දැන් මෙහෙ ඇවිත් මේක කන්න බලාවි

කළු කුමාරයා : නෑ නෑ දොරේ, හදිසි කේස් එකක් නෙවෙයි. පොඩි ඉල්ලීමක් තියෙන්නේ. මේකයි දොරේ කොරෝනා කේස් නිසා අවුරුදු දෙක තුනකින් අපේ ට්‍රිප යන්නත් බැරි උනා නේ, ට්‍රිප යන්න හදපු වට්සැප් ගෘප් එකේ දැන් වැල ශෙයා වෙන්නේ. අපි බැලුවේ පොඩි චිල් එකක් දාන්න පොඩි හැලෝවීන් පාටි එකක් දාන්න

මහසෝනා : මොන පාටියක්?

රීරියකා : හැලෝවීන් දොරේ…හැලෝවීන්……අර මළවුන්ගේ පාටිය කියන්නේ, අන්න එහෙම එකක්

මහසෝනා : ඉද්දකීන්, තොපිලා දැන් මාව නැගිට්ටෙව්වේ ඒකටද? යකෝ එහෙම පොෂ් පාටි එකක් දාන්න කලින් ඔක්කොටෝම ඉස්සෙල්ල තොපිලගේ නම් වෙනස් කර ගනින්. බලපන් උබලගේ නම් වල කැත. රීරි යකා, කළු කුමාර, ගොපළු යකා, මෝහිණී, බෝදිලිමා, මහ කොළ සන්නි යකා, උලමා, අභිමාන යකා. මොන රෙද්දේ නම්ද බං.. ඊයා

කළු කුමාර : ඈ දොරේ, දොරේ හිතන් ඉන්නේ ඔය මහසෝනා කියන නම පොෂ් කියලද?

මහසෝනා : යකෝ…තේරුම් ගනින් මම බොස්!!

කළුකුමාර හෙමීට තමන්ට විතරක් ඇහෙන්න

“අම්මපා ගෝටයිම්බර ගහන්න තිබුනේ තොගේ බෙල්ලට නෙවෙයි, ඇටේට”

මෝහිණී – “අනේ ස’ අපි මේ පාටි එක දාමුකෝ. ඇඟට කිසි කික් එකක් නෑ…. දැන් එන කොල්ලොන්ට ළමයා වඩාගන්න පොඩ්ඩක් රෙද්ද හදා ගන්න ඕන කිව්වම මුන් කියනවා ළමයව පොඩ්ඩක් උස්සන්න උන් රෙද්ද හදන්නම් කියලා!! එකෙක් ගන්නේ නෑ ස’ මේ වොත්තිගේ කොල්ලව අතට

රීරි යකා : ඔව් දොරේ මමත් නස්පුක් වෙලා ඉන්නේ..ලංකාවේ උන්ගේ ඇඟේ ලේ කළඳක් නෑ කියහන්කෝ බොන්න….සොච්චම් පඩියටත් රෙවෙන්නම බදු ගහලා මුන්ගේ රීරි මාන්සේම බීලා ආණ්ඩුව. මුන් නිකන් දැන් පාන්ඩුව හැදිච්ච හැලපයෝ වගේ ඉන්නේ

ගොපළු යකා : දොරේට කියන්න මේ සිඟිති ඇච්චො බැච්චෝ මොකක්ද හරුප ෆිල්ම් එකක් බලල හැමතිස්සෙම බලන්න මගේ අප්පච්චි දීපු කෙවිට හොරකම් කරන්න…හයියෝ දවසක් මම මුත්‍රා කරන්න ගිහින් අනූ නවයෙන් බේරුනේ. මුන්ගේ කරදරෙන් බේරෙන්න බැරි නිසා මම කෙවිට ගෙදර තියලා ඇල්බීසියා කෝට්ටක් ගෙනි යන්නේ

කළු කුමාර : ස’ ට කියන්න, මට රිංගන්න තනි වෙච්ච හිතක් නෑ කියාන්කෝ!!! හැම පොඩි කෙල්ලගේම හිතේ හැට හුටාමාරක් කොල්ලෝ, හැට පැනපු වයසක උන් විතරයි මට ඉතුරු වෙලා ඉන්නේ, උන් මෙලෝ රහක් නෑ සර්. අනික සර් දැන් ඉන්න එවුන්ට ලෙඩක්ද මන්දා මුන් නිදා ගන්නේ නෑ!! මම දවසක් පැය 8ක් අල්මාරියේ හැංගිලා හිටියා! මුන් නිදා ගන්නෙම නෑ සර්!

උලමා: ලැජ්ජයි සර් කියන්නත්. මම මේ ලඟදි දවසකදී බැඳපු මිනිස්සු බය කරන්න ෆුල් ගේමක් දෙන්න හැදුවා. උන් එකෙක්වත් මට බය වෙන්නේ නෑ. උන් කියනවා බැඳපු ගෑණි එක්ක බලද්දී මම දාහෙන් සම්පතක් කියලා. මුන් මගෙන් ෆොටෝස් ඉල්ලා ඉල්ලා මැසේජ් කරනවා.

මහසෝනා : මටත් උබලගේ දුක නොතේරෙනවා නෙවෙයි බන්! ලඟදි ෆිල්ම් එකක් බැලුවා ඒකෙ මහසෝනට අරන් හිටියේ වඳුරෙක් බං! මම රිටිගල ජයසේන යකෝ! අම්මලා දැක්කනම් මාව පවුලෙනුත් එලවනවා. උබලට තේරෙන්නේ නෑ මට තියෙන ප්‍රශ්න….අනේ බං දැන් ඔහොම පාටි දාන්න දැන් බජට් නෑ.. ලංකාවේ ඉඳන් එන එවුන් ගිනි තියන්න මේ ලෝදියත් මදි. මම හැමදාම ලෝදිය ඕඩර් කරනවා. ඩොලර් නැතුව LC අරින්න බෑ.. අනික මට හොඳටම ෂුවර් දැන් බදු වැඩි කරාම ලංකාවේ ඉන්න අන්ගුත්තරයෝ වංගු ගහනවා බදු වලට. ඊටපස්සේ උන් ආයේ එන්නේ අපේ අපායට. දැන් ඉන්න අන්කුට්ටෝයි මුන් ටිකයි සෙට් වෙනවා කියන්නේ බඩුම තමා.
හෙණ මැෂිම කැඩිලා එහෙන්. එකක් චීනෙන් ඕඩර් කළා, කලින් එකේ හෙණ දෙකයි ගැහුවේ බඩු කැඩුනා. මුන් හෙන ඉල්ලන විදියට කොහොමද බං හෙන දෙන්නේ! මුන් හෙන ඉල්ලන්නෙම දියවන්නාවට…කොහොමද බන් දියවන්නාවේ උන්ට හෙණ දෙන්නේ. දියවන්නාවේ ඉන්නෙත් අපේම එකාලා යකෝ! අපේම සහෝදරයෝ!

මම පොඩි රික්වෙස්ට් එකක් දැම්මා බං. දිව්‍ය ලෝකේ බජට් අඩු කරලා මෙහෙ වැඩි කරන්න කියලා. බලපන් එතන දෙවියොම තිස් තුන් කෝටියක්. ඔය තිස්තුන් කෝටියෙන් එකාගෙන් රුපියලක් අඩු කළත් අපිට කෝටි තිස්තුනක් ලැබෙනවා.. උන්ට වැඩත් නෑ. අපි මෙතන හතයි අටයි ඉන්නේ, රෙවෙන්න වැඩ! බලමු පොඩි මැච් එකක් ගහන්න. මේ දුක තුනී වෙන්නත් එක්ක අපි ලාවට සෙට් වෙමු අද

කළුකුමාර : ඉම්පොර්ටඩ් විස්කිද සර්? ගහමු ගහමු

මහසෝනා : පිස්සුද බන්…ඕවට දැන් බජට් නෑ. ගල් ගන්නත් අමාරුයි. දන්කොටුව ස්පෙෂල් තියෙනවා. බඩු සුපිරි. තව ටිකකින් සෙට් වෙමු. ආ මේ මෝහිණී පොඩ්ඩක් මගේ ඔෆිස් එකට එන්න, අර ලංකාවේ උන් රෙද්ද හදන විදිය මට පොඩ්ඩක් කියලා දෙන්න

-නිමි-

කිසිදාක නොපැයූ සඳ

මාස 10ක් කුසේ තියාගෙන පෙරුම් පුරලා හීන මවාගෙන බලාපොරොත්තු බිඳිලා ගියාම

තරු අස්සේ බැබලෙන්න

හිස් අහස සරසන්න

අඳුරු රැය සනසන්න

එයි කියලා හිතුව උබ

සීතලට ගුලි වෙන්න

උණුහුමට දැවටෙන්න

වලාකුළු සළු රැගෙන

පිළිගන්න හිටියේ නුබ

අලුත් අරුතක් දෙන්න

සතුට අරගෙන එන්න

හීන අපෙ එලිවෙන්න

අපිට උන් එකම සඳ

හුස්මකුත් නැතුව අද

උන්නු හැටි දැකල උබ

නැවතුනා හදගැස්ම

කිව්වා මම දෙවියොන්ට

මගේ හුස්ම උබ රැගෙන

යන්න මට ඉඩ දෙන්න

කොහොමටත් උබ නැතිව

පායන්න හඳ නැතුව

අමාවකයි අපේ ලොව

සොහොනට මම අලුත්

කියන්නට මට දහසකුත් ඇත

හෙළන්නට තව සුසුම් ළඟ ඇත

ළඟ ඉඳින්නට පෙරුම් පිරුවට

පස් ගොඩක් යට තනි වෙලා මම

අඳුරා ගන්නට කව්රුවත් නැත

බැලු බැලූ අත සොහොන් නම් ඇත

හිනාවක් නැති ලෝකයක් තුල

මගේ හිනහව සැඟවිලා අද

උන්නු කාලය ඉවරවී අද

මතක පමණක් ඉතුරුවී ඇත

මතකයන් තුල රැඳී ඉමි මම

යලි උපන්නට පින් එපා මට

මට හිතෙන දේ උබට හිතුනොත්

එන්න සොහොනට මං බලන්නට

මල් මිටක් ගෙන උබේ දෑතට

තියල පලයන් මහමෙරක් මට

එහෙම එන්නට දුක වැඩී නම්

එන්න එපා උබ මගේ සොහොනට

උබ නොමැති ලොව කල් ගෙවන්නට

විදිය විතරක් උගන්වන් මට

තව දවසක් හමු වී

ඉමු මේ භවේ

❤️

කීර්ති පැස්කුවල් මහත්තයා කියන තවත් එක ලස්සන සින්දුවක්…මේ සින්දුවේ වචන ටික හරියට අහලා බැලුවේ මම ලඟදි…මට හිතෙනවා සින්දුව ලියපු සජිත් චතුරංග මහත්තයා මේක ලියන්න ඇත්තේ අහිමි වෙච්ච ආදර කතාවක් ගැන වෙන්න ඇති..ඒ පද ටික දිහා බැලුවම තේරෙන්නේ ඒ වගේ.

සින්දුවේ වචන හරියටම ඔලුවට ගිය දවසේ ඉඳන් මට මේ සින්දුව ඇහෙනකොට මතක් වෙන්නේ වෙනමම කතාවක්.වෙනස්ම විදියක ආදර කතාවක්.. (මම නම වෙනස් කරලා කියන්නම්)

ඉෂාර මගේ පන්තියට එන්නේ මට මතක විදියට 2017දී..පොර හෙනම අහිංසක චරිතයක්..කාත් එක්කවත් වැඩි කතාබහක් නෑ…වෙනම තනියම වාඩි වෙන්නේ..දවසක් මම පන්තියේ ගාණක් හදන්න දීලා පන්තිය වටේ රවුමක් දාද්දි පොරගේ පොතට එබිලා බැලුවා…අනිත් අය හිතන්න පටන් ගන්නකොට ඉෂාර ගාණ හදලත් ඉවරයි…මම ඉතින් පොරගේ පොත අරන් බැලුවා…ඔක්කොම නෝට්ස් හරිම පිළිවෙලයි වැඩ ටිකත් ඔක්කොම කරලා….හොඳ මීටර් එකක්.

A/L රිසල්ට්ස් ආපු දවසේ මම ලන්ච් රූම් එකේ ඉද්දි පොර ආවා මාව පොඩ්ඩක් හම්බවෙන්න… A3යි..ලේසියෙන්ම ජපුර යන්න පුළුවන්

“සර් මට පොඩි ඇඩ්වයිස් එකක් ගන්න පුලුවන්ද”

මම : “ඔව් ඉෂාර කියන්න”

ඉෂාර : “සර් මම රුහුණ කැම්පස් එක සිලෙක්ට් කලාට ප්‍රශ්නයක් නැද්ද”

මම : “ඇයි ඉතින්, ඔයාට අනිවාර්යෙන් ජපුර අහු වෙනවා නේ… රැග් එකට බයයිද? දැන් එහෙම රැග් නෑ”

ඉෂාර : “නෑ නෑ සර්…එහෙම දෙයක් නෙවෙයි…අපේ මහා ගෙවල් තිහගොඩ (මාතර) තියෙන්නේ….මම පොඩි කාලෙම තාත්තා නැති උනා…මායි අම්මයි විතරයි ඉන්නේ…මම කොළඹ ආවොත් අම්මා තනි වෙනවා…මම දැන් අම්මා ගාව ඉන්න ඕන සර්”

ඒ වෙලාවේ ඇත්තටම මම පොර ගැන හරියට දැනන් හිටපු නැති නිසා මට තේරුනේ ඒක හරි බොළඳ හේතුවක් කියලා…එත් පස්සේ ඉෂාර ආශ්‍රය කරන්න ගත්තට පස්සේ තේරුණා එයයි අම්මයි අතරේ තියෙන්නේ හරිම ශක්තිමත් සම්බන්දයක් කියලා….

2019 නොවැම්බර් මාසේ අන්තිම දවසක උදේ 4.00ට විතර මට ඉෂාර කෝල් කළා….

“සර් මගේ අම්මා නැති උනා” පොරට එච්චරයි කතා කරගන්න පුළුවන් උනේ…..එක දිගටම අඬන්න ගත්තා..

මම එදා ඔෆිස් එකේ වැඩ ඉවර කරලා මාතර ආවා මළගෙදරට සහභාගී වෙන්න

ඉෂාර මගේ ලඟට ඇවිත් වාඩි උනා..මට මළගෙදර කට්ටියක් කිව්වා ඉෂාර දෙතුන් පාරක් කලන්තේ දැම්ම කියලා

“මගේ මුළු ලෝකෙම කඩන් වැටුනා සර්…මට ජීවිතේටම හිටියේ අම්මා විතරයි..අම්මටත් මම විතරයි සර්….දැන් මම තනියම..සර්ට මතකද රිසල්ට්ස් ආවා දවසේ මම කිව්වා මට ජපුරේ යන්න බෑ අම්මා එක්ක ඉන්න ඕන කියලා…සර්ට හිතෙන්න ඇති එක මෝඩ හේතුවක් කියලා…ඒත් සර් මට ජීවිතේම උනේ අම්මා….තාත්තා නැති උන දවස් ඉඳලා කොයි තරම් කතා අහ ගන්න ඇද්ද සර් මාව තනියම හදා ගන්න, වෙන කසාදයක් කරගන්න කියලා හැමෝම කියද්දී එහෙම කලේ නැත්තේ මම නිසා….මට උගන්වන්න කොයිතරම් දුකක් විඳින්න ඇද්ද??? මට මට ඒක නෙවෙයි සර් වැඩියෙන්ම දුක…අන්තිම මොහොතේ ඉස්පිරිතාලේදී අම්මා මගෙන් වතුර ටිකක් ඉල්ලුවා….මම එක අරන් එද්දී මගේ ඇස් ඉස්සරහ අම්මා ඇස් පියා ගත්තා සර්…මම මහා පව්කාරයෙක් සර්…මට අන්තිම මොහෙතේ අම්මට වතුර එකක්වත් දෙන්න බැරි උනා…මම හරි ආසාවෙන් හිටියේ උපාධිය ගන්න දවසට අම්මව එක්කන් යන්න…මට ඒකත් කරන්න බැරි උනා

මම මට පුළුවන් තරම් උත්සාහයක් දැරුවා ඉෂාරගේ හිත හදන්න…

ඉෂාරගෙයි එයාගේ අම්මගෙයි තිබුණ ආදරේ බැඳීම විස්තර කරන්න මගේ ළඟ තියන වචන මදියි….ඒක විස්තර කරන්න මට හිතා ගන්නවත් බෑ……අම්ම නැති උනාට පස්සේ මානසිකව වැටුන ඉෂාර කොහොමහරි අවුරුද්දක විතර රෙස්ට් එකක් අරන් ඩිග්රි එක කළා…ඒක ඉවර කරලා වැඩි දුර ඉගෙන ගන්න ශිෂ්‍යත්වයක් අරන් රටින් ගියා

මේ කතාව ඔලුවේ තියාගෙන පොඩ්ඩක් මේ සින්දුව අහලා බලන්න…මම සින්දුවේ වචන ටික පහලින් දාන්නම්…. ආයෙම කියන්නේ මේක සින්දුවේ ඔරිජිනල් තේරුම නෙවෙයි…මම අහපු ඉශාරගේ කතාව මේකට සම්බන්ද කළා විතරයි….

තව දවසක් හමුවී.. ඉමු මේ භවේ..

එක සැරයක්.. දුටුවොත් ඇති දෑස් ඔබේ…

ඔබ වෙනුවෙන්.. හැඬුව තරම්

කියන්න හීන් සැරේ….//

මඳ පවනේ මුසු කෙරුවේ…

යළි නොඑනා… මතක අපේ…

නිදි පැදුරේ ගෙවෙන පැයේ සිහිකෙරුවා…

සුවඳ ඔබේ ජීවිතේ….. පාළුයි මගේ…..

තව දවසක් හමුවී.. ඉමු මේ භවේ..

එක සැරයක්.. දුටුවොත් ඇති දෑස් ඔබේ…

තරු දෙවැටේ පිපෙන සඳේ..

දුක වැඩලා ලොවට අපේ…

කිරි සයුරේ මුතු පතුලේ.. සැඟව ගියා..

මැණික මගේ ආදරේ …. ගීයක් වගේ…”

මාරවංශය-1 කොටස

යටගිය දවස අමුතුඇටද්වීපයේ පළමු මෙත්පල් රජුගේ ධුර කාලය ඇවෑමෙන් සබ්බගොජ්ජා රජු සමග ද්වන්ද සටනකින් ජයගත් දෙවන රාජපස්, වීඩමොරුවා රජු හුදී ජනයාගේ ප්‍රීතිඝෝෂා මැදින් රජකමට පත් වුයේය.. සතුටට පත් මහජනයා පොල්කිරි මුඛයට වත්කරගෙන බත් අහුරුද මුඛයට දාගනිමින් කිරිබත් කමින් විජයග්‍රහණය සැමරුවෝය…..

හැට නම ලක්ෂයක මහජනයා වීදි පුරා පෙනෙන පෙනෙන තාප්ප, බිත්ති පුරා බලිකූටු අඳිමින් අමුතු සතුටක් වින්දෝය..මහා අසනි වැසි ඇද හැලී ගංවතුර ගලා මිනිසුන් මිය යද්දී බයි ගෝත්‍රිකයන් ඒවා “ආශිර්වාද වැසි” ලෙස සැලකුවෝය..රූප සුන්දරී තරඟයකින් අමුතුඇටද්වීපයේ ලමිස්සියක් ජයගත් ඒ කල්හීද රටට සශ්‍රීක කාලයක් උදාවූ බව පවසමින් සතුටු වූහ….අඬබෙර ගසන හෙන්චයියන් රටට සුභ කාලයක් උදාවී ඇතැයි උදම් ඇනුහ.

ඔවුන්ගේ සතුට දෙගුණ තෙගුණ කරනු වස් දෙවන රාජපස් රජු එවකට පැවති කහවනු පහළොවක සක බද්ද කහවණු අටකට පහත හෙලුවෝය. එතෙක් මෙතෙක් ඉතිහාසයේ කුමන රජ කෙනෙක්වත් නොකළ දෙයක් යයි කියමින් බයිගෝත්‍ර ජනතාව මුහුණු පොතේ තම අණසක පතුරමින් ටොයි ජනතාවට උසුළු විසිළු කළහ…සිත් තැවුලට පත් ටොයිගෝත්‍රික ජනතාව තමන්හට නැවත වාරයක් ලැබෙන කල් තම මුඛයත්, පශ්චාත් ප්‍රදේශයත් වසාගෙන පූර්ණ නිද්‍රාවට වැදුනහ.

සක බද්ද පහත හෙළීමෙන් සතුටට පත් ජනයා මෙත්පල් රජුගේ ධුර කාලයේ සිදුවූ මහා බාන්ඩාගාර කොල්ලය, නානා ආක්‍රමණය අමතක කල සතුටින් ජීවත් වීමට තීරණය කළෝය..

කල් යත්ම සක බද්ද පහල හෙලීම නිසා භාණ්ඩාගාරයේ කහවනු හිඳෙන බව දැනුනු දෙවෙනි රාජපස් රජු තම සහෝදර අග රජු පළමු රාජපස් රජු සමග සාකච්චා කර මහා භාණ්ඩාගාරයට කබ්බ ගොබ්‍රාල් පුරෝහිත තුමෝ පත් කිරීමට තීරණය කළෝය….සන්තෝසයට පත් කබ්බ ගොබ්‍රාල් තුමෝ, තම කහවනු අච්චු ගසන අරුම පුදුම මැසිම සමග තම ධූරයේ වැඩ භාර ගත්හ. එතැන් පටන් භාණ්ඩාගාරයේ කහවනු ප්‍රශ්න කිසිවක් ඇති නොවුනි, කහවනු අච්චු ගසන අරුමුඅ පුදුම මැසිම දිවා රාත්‍රී නොබලා කහවනු අච්චු ගසමින් භාණ්ඩාගාරය පිරවීමට කටයුතු කළේය..

මෙසේ මාස දෙක තුනක් ගතවත්ම අමුතුඇටද්වීපයට දුර්බික්ෂයක් ළඟා වුනි

-මතු සම්බන්දයි-